පෝට්සිටියට මුවා වී හොර බඩු තොග පිටින් රට තුළට

Spread the love

වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල නිරත චයිනා හාබර් කෝපරේෂන් සමාගම විසින් මෙරට රේගු නීති උල්ලංඝණය කරමින් ඉතාමත් හොර රහසේ මත්පැන්, දුම්වැටි, ගෘහ උපකරණ ආදී බඩු රැසක් රට තුළට ගෙනඒමට කටයුතු කර ඇති බව රේගු ආරංචිමාර්ග සඳහන් කරයි.

එම සමාගමේ ඉදිකිරීම් ද්‍රව්‍ය ලෙස හඟවා වරින්වර සීල් කරන ලද කන්ටේන්ර් තුළ මෙලෙස බඩු විශාල තොගයක් ගෙනවිත් ඇති අතර විස්කි, සිගරට්, ශිතකරණ, ඉහුම් පිහුම් උපකරණ, විදුලි උපකරණ ආදී ද්‍රව්‍ය රැසක් ඒ අතර වන බව පැවසේ.

මෙය අනාවරණය වී ඇත්තේ පසුගියදා ඉතාමත් සූක්ෂම ලෙස රේගු දෙපාර්තමේන්තුව විසින් සිදු කරණ ලද පරීක්ෂාවකදී ය.

එහිදී චයිනා හාබර් කෝපරේෂන් සමාගම විසින් ගෙන්වන ලද කන්ටේනර් පෙට්ටියක් විවෘත කර බැලීමේදී විස්කි බෝතල් 5000කට අධික ප්‍රමාණයක් සහ සිගරට් 3000කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත.

රාජත්‍රාන්ත්‍රික කටයුතු සඳහා පැමිණෙන්නන් හට තීරු බදු රහිතව මෙවැනි උපකරණ ගෙන්වීමට හැකි වුවද ඒ පුද්ගලික ප්‍රයෝජනයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් වේ. එමෙන්ම මෙවැනි ව්‍යාපෘතියක සේවකයින් සඳහා මෙම භාණ්ඩ ගෙන්වීමේදී ශ්‍රී ලංකා රේගු නීතිය අනුව අනිවාර්යයෙන්ම අදාළ තීරු බදු ගෙවිය යුතුව ඇත.

කෙසේ නමුත් මෙලෙස ගෙන්වා ඇති භාණ්ඩ තොගය අනුව පෙර ගෙන්වා ඇති භාණ්ඩ පිළිබඳ උපකල්පනය කිරීමේදී සහ මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල නිරත චයිනා හාබර් කෝපරේෂන් සමාගම රුපියල් කෝටි ගණනක බදු ආදායමක් රටට අහිමි කර තිබේ.

විස්කි හා දුම්වැටි සම්බන්ධ රේගු නීතිය අනුව විස්කි රාජසන්තක කළ යුතු අතර සිගරැට් විනාශ කර දැමිය යුතු ය. එමෙන්ම එම භාණ්ඩවල වටිනාකම අනුව දඩයක්ද නියම වේ.

එහෙත් මේ වනවිට වාර්තා වන්නේ ප්‍රබලම දේශපාලන අධිකාරියක මැදිහත්වීමෙන් මෙම භාණ්ඩ තොගය ඉතා සුළු දඩයකට යටත් කොට මුදා හැරීමට කටයුතු කරමින් සිටින බව ය.

වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල නිරත චයිනා හාබර් කෝපරේෂන් සමාගම විසින් මෙලෙස නීතිවිරෝධීව ගෙන්වා ඇති භාණ්ඩ තොගය මේ වනවිට ලිපිගොනු අංක PREG3552017 යටතේ රඳවා ඇති බවද වාර්තා වේ.

මෙලෙස ගෙන්වන ලද බඩු මෙරට සාමාන්‍ය ජනතාව වෙත අලෙවි කිරිමේ ජාවාරමක් සිදුවන්නේද යන්න පිළිබඳවත් මේ වනවිට රේගුව සැක පළ කරන බවද වැඩිදුරටත් වාර්තා වේ.

RSL

Related Posts