රට පොල් මද තොග බෙදා හැරීම ඇරඹේ

Spread the love

පොල් සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ආනයනය කළ පළමු ශීත කළ පොල් මද තොගය කර්මාන්ත සඳහා මුදා හැරීම ඊයේ (10) ආරම්භ විය.

දිසිදි පොල්, නැවුම් පොල් තෙල් හා පොල් කිරි ඇතුළු පොල් මද ආශ්‍රිත කර්මාන්තවල පිබිදීමත් සමඟ පොල් සඳහා වන ඉල්ලුම සීග්‍ර ලෙස ඉහළ යාම පොල් මිල කෙරෙහි විශාල ලෙස බලපා තිබේ. දේශීය පොල් නිෂ්පාදනය වාර්ෂිකව ගෙඩි මිලියන 3,000ක් පමණ වන අතර එයින් 60% – 70% අතර ප්‍රමාණයක් සෘජු පරිභෝජනය සඳහා වැය වේ. මෙම තත්ත්වය හමුවේ කර්මාන්ත සඳහා ඉතිරි වන්නේ 30% – 40% ත් අතර ප්‍රමාණයකි.

වර්තමානයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විශාල ගෝලීය ඉල්ලුමක් නිර්මාණය වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ පොල් මද ආශ්‍රිත කර්මාන්තයේ පිබිදීමට හේතු වී තිබේ. එහෙත් එම කර්මාන්තයට අවශ්‍ය පොල් මද සැපයීමට දේශීය පොල් ඵලදාව ප්‍රමාණවත් නොවන බැවින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ යෝජනාවකට අනුව පොල් මද ආනයනයට කැබිනට් අනුමැතිය හිමි විය.

ඒ අනුව මෙරටට ගෙන්වන පළමු පොල් මද තොගය රැගත් නෞකාව පිලිපීනයේ සිට ඊයේ දිනයේ කොළඹ වරායට ළඟාවිය. එම පොල් මද තොග කර්මාන්ත සඳහා බෙදා හැරීම අද සිට ක්‍රියාත්මකයි. දැනට පොල් මද මෙට්‍රික් ටොන් 78,000 ක් ආනයනය කිරීමට පොල් මද ආශ්‍රිත දේශීය කර්මාන්තකරුවන් බලපත්‍ර ලබාගෙන තිබේ. ඒ අනුව ලබන සතියේ සිට අඛණ්ඩව පොල් මද ආනයනය සිදු කෙරෙනු ඇත.

මෙසේ ආනයනය කෙරෙන පොල් මද අගය එකතු කළ නිමි භාණ්ඩ සැකසීම සඳහා යොදා ගැනෙන අතර ඒවා ලෝක වෙළඳපළ අවශ්‍යතාවන්ට අනුව යළි අපනයනය කිරීම සැලසුමයි. එමගින් පොල් ආශ්‍රිත කර්මාන්තයේ දියුණුව මෙන්ම නිෂ්පාදන හරහා සැලකිය යුතු විදේශ විනිමයක් ද ඉපයීමට අවස්ථාව උදා වේ. කර්මාන්ත ආශ්‍රිත රැකියා උත්පාදනය, පොල් ආශ්‍රිත ඉල්ලුම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම මෙන්ම දේශීය පොල් වගාකරුවන්ට සිය අස්වැන්න සඳහා ඉහළ මිලක් ලබා දීමද මෙහි වක්‍ර ප්‍රතිලාභ වේ.

සෘජු පරිභෝජනයට අවශ්‍ය පොල් දේශීය නිෂ්පාදනයෙන් ලබාගැනීමේ හැකියාව වැඩිවන නිසා දැනට වෙළෙඳපළේ පොල් මිල ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයට ද මෙය විසඳුමක් වනු ඇත.

RSL

Related Posts