ඇමැතිනි විජයකලාගෙන් CIDය පැය 5ක්‌ ප්‍රශ්න කරයි

Spread the love

යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌කුමාර් නමැත්තාට පළා යැමට උදව් කළා යෑයි චෝදනා එල්ලවී තිබූ ළමා හා වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් පෙරේදා (09 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය 5 ක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ.

මහේෂ්වරන් මහත්මිය පෙරේදා දහවල් 2.00 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා රාත්‍රි 7.00 පමණ වනතෙක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ, ඝාතනයේ ප්‍රධාන සැකකරුවන ස්‌විස්‌කුමාර් ඇතුළු සැකකරුවෝ 9 දෙනෙක්‌ මේ වන විට බන්ධනාගාරගතව සිටිති.

විද්‍යා ඝාතනය සිදු වූ දින ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌කුමාර් නමැත්තා ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන පොලිසියට භාර දීමෙන් පසු ඔහුට පලා යැමට ඉඩහරින ලෙස පොලිසියට නියෝග දුන් බවට වූ චෝදනාව යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා බන්ධනාගාරගතකර සිටී.

ස්‌විස්‌කුමාර් නමැත්තා පලා යැමෙන් පසු ඔහු නැවත වැල්ලවත්ත ප්‍රදේශයේදී විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සිද්ධියේදී ප්‍රධාන සැකකරු පොලිස්‌ අත්අඩංගුවෙන් මුදා හැරීමට උදව් කළා යෑයි රාජ්‍ය ඇමැතිනියට චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව රාජ්‍ය ඇමැතිනිය පෙරේදා ගෙන්වා සිදුකළ විමර්ශනවලදී ප්‍රධාන සැකකරුට පලායැමට ඇය උදව් කර ඇති බවට හෙළි කරගත හැකි සාක්‍ෂි නොමැති බවත්, ඇය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා පැවැසීය.

ස්‌විස්‌කුමාර් නමැත්තා සිද්ධිය වූ දින යාපනය පොලිසියට රැගෙන ඒමෙන් පසු ඔහුට පලායැමට උදව් කළ එවක යාපනය පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු වශයෙන් රාජකාරි කළ ශ්‍රී ගජන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරන බව ද ඔහු කීය. ගජන් නමැත්තා කටුනායක ගුවන් තොටුපළ හරහා විදෙස්‌ රටකට පලායැමට උත්සාහ කර ඇති බවත්, ඔහු මේ වන විට පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන් සේවය අතහැර ගිය අයකු ලෙස දැනුම් දී ඇති බවත් එම නිලධාරියා කීය. ඇතැම් විට මොහු මුහුදු මාර්ගයෙන් පලාගොස්‌ ඇති බවට සැකයක්‌ පවතින බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts