අඟහරු අද පෘථිවිය ලඟින් යයි
- RSL
- July 31, 2018
- උණුසුම් පුවත්, මතවාද
- 0 Comments
අඟහරු ග්‍රහයා අද (31 දා) පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන්ගන්නා බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
2003 වසරට පසු වසර පහළොවකින් අනතුරුව අඟහරු ග්‍රහයා මෙලෙස අද පෘථිවියට ආසන්නව ගමන් කරන බවත් එය පෘථිවියට කිලෝ මීටර් මිලියන 57.6 ක් තරම් ආසන්නව ගමන් ගන්නා බවත් හෙතෙම කියා සිටියේය. හිරු බැස යැමත් සමගම නැගෙනහිර ක්‍ෂිතිජයෙන් උදාවන අඟහරු ග්‍රහයා අලුයම් කාලයේ බටහිර සිතිජයෙන් බැසයන තෙක්‌ම රාත්‍රි අහසේ සඳු හැරුණු විට දීප්තිමත්ම වස්‌තුව ලෙස දිස්‌වේ.
අඟහරු ඇතුළු ග්‍රහලෝක නිරීක්‍ෂණ කිරීමේ කඳවුරක් අද රාත්‍රි 7.00 සිට 10.00 දක්‌වා කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන බවත් විශාල දුරේක්‍ෂ තුලින් රාත්‍රි අහස නිරීක්‍ෂණය කිරීමට හැකිවනු ඇති බවත් මහාචාර්යවරයා කීවේය.
අගෝස්‌තු පළමුවැනිදා පොළොන්නරුව විජිත මධ්‍ය මහා විද්‍යාලයේදී හා අගෝස්‌තු 02 වැනිදා ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේදී රාත්‍රි 7.00 සිට 9.00 දක්‌වා මෙම කඳවුරු පැවැත්වෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
-දිවයින-

