ආණ්ඩුවට ඉතිරි වී ඇත්තේ මල බද්ද ගැසීම පමණයි – බැසිල්

Spread the love

මේආණ්ඩුව අලුත උපන් කිරි දරුවාටත් බදු ගහන තත්ත්වයට පත්ව ඇති අතර ඉතිරිව ඇත්තේ මල බද්ද ගැසීම ආරම්භ කිරීම පමණක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවැසීය.

නාත්තණ්ඩිය “ජනරළ” ජනහමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද කීය.

අද බලන්න මේ ආණ්ඩුව වැටිලා තියෙන තත්ත්වය, අලුත උපන්න ළමයගෙනුත් බදු ගහනවා. ළමයෙක් උපත ලැබුවම ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම අපේ සිරිතක්. මේ ගිණුම් අම්මා තාත්තා හෝ ළමයාගේ ඥාතියකු විසින් ආරම්භ කරනවා. මේක ආරම්භ කළාම ළමයට අවුරුදු 18 පිරෙනකම් ගන්න බැහැ. නමුත් මේ ආණ්ඩුව මොකද කරන්නේ ඒ ගිණුමෙනුත් සල්ලි අදිනවා.

අද ප්‍රධාන වශයෙන් කතාබහට ලක් වෙන්නේ එල්ලුම්ගහ. මේ එල්ලුම් ගහ නිසා මේ ආණ්ඩුවට ජීඑස්පී නැති වෙන්නයි යන්නේ. අපිට නැති වුණේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ගිහින්. නමුත් මේ ආණ්ඩුවට ජීඑස්පී නැති වෙන්න යන්නේ මිනිස්සු මරන්න ගිහින්. අපි එදා මිනිස්සු ජීවත් කරවන්නයි මහන්සි ගත්තේ.

අද මේ ආණ්ඩුව ගම්පෙරළිය කියලා වැඩසටහනක් ගෙනත් තියෙනවා. අපි ඇත්තටම සතුටු වුණා මේකෙන් වැඩක් කෙරෙයි කියලා. නමුත් බැලුවම මේකෙන් කෙරෙන්නෙත් විකිණීමම තමයි. මේකෙන් වැව් ටිකත් විකුණන්න සැලසුම් කරලා. ඉදිරියට ගමේ සතිපොළ ඒ වගේ තැනුත් විකුණයි. අපි හැදුවා. මේ අය විකුණනවා. අපරාදේ මේවා හැදුවේ කියලා දැන් හිතෙනවා. මොකද අපි මේවා හදපු නිසානේ මේ අය මේවා විකුණන්නේ.

මම මේ ස්ථානයට එන්න පරක්කු වුණේ පොලිසි දෙක තුනක අස්සන් කරන්න තිබුණ නිසයි. මම වැරැදි කරලා නෙවෙයි මෙහෙම වුණේ. මේ ජනතාවට සේ්වය කරලයි. මේ ප්‍රාදේශීය සභාවලට කණු දීලා, මේ වගේ දේවලට තමයි මාව සිරගත කළේ. අද මේ අය අලුත් නීතිරීති ගේනවා අපිව හිරේට දාන්න. අලුතෙන් උසාවි ගේන්වා. අපි පැහැදිලිව කියනවා මේ නීතිරීති, උසාවි පාවිච්චි කරලා අපි මේ අයට දඬුවම් කරන්න යන්නේ නැහැ කියලා.

RSL

Related Posts