මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරිස් (perpetual treasuries) සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි යන අය ලබන 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවන ලැබුවේය.
එහිදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පරීක්ෂණ වලින් අනතුරුව එම සැකකරුවන් පස්දෙනා අත් අඩංගුවට ගත් බවයි.
මෙම සැකකරුවන් ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම යන වැරදි සිදු කර ඇති බවට සහ ඔවුන්ට අදාළ සාක්ෂි පිළිබඳ සාරාංශයක් අධිකරණය හමුවට ගොනු කර ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණය හමුවේ දන්වා සිටියේය.
සැකකාර මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා 2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදුවූ ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති බවටත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් එම සිද්ධියට අදාළ පරික්ෂණවල දී රහස් පොලීසියට පූර්ණ සහය ලබා දී ඇති බව ප්‍රකාශ කළේය.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විසිපස් වතාවක් පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිට අවශ්‍ය කරන ලේඛන ඇතුළු සියලුම සාක්ෂි ඔවුන් විසින් සපයා දීමට පියවර ගෙන ඇති බවත් ඔවුන් කිසිදු අවස්ථාවක අධිකරණය මගහැර යන ආකාරයෙන් කටයුතු කර නොමැති බවත් නිතිඥවරුන් ප්‍රකාශ කළේය.
මොවුන්ට අදාළ චෝදනා ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ඉදිරිපත් කර තිබෙන බැවින් ඔවුන්ට ඇප දීමට අධිකරණයට බලයක් පවතින බවත් විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා. එබැවින් ඔවුන් ඇප මත මුදාහරින ලෙසයි එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියේ මෙම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇප ලබාදීමට අධිකරණයට බලයක් පැවතිය ද ඇප පනතේ 14 (2)(ආ) වගන්තිය යටතේ මෙම වරද රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට අදාළ වන බැවින් ඊට අදාළව මහජන කැළඹීම් ඇති වීමට ඉඩකඩ පවතින බවය.
ඒ අනුව ඔවුන්ට ඇප ලබාදීමට අධිකරණයට බලයක් පැවතිය ද ඇප පනත යටතේ ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඒ අනුව ඔවුන් අප්‍රේල් මස 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන බව ද නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් , එහි අධ්යක්ෂවරුන් වන රන්ජන් හුළුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, පුෂ්යමිත්ර ගුණවර්ධන සහ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ද ඇතුළත් වේ.
-අද දෙරණ-