ඓතිහාසික මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් රුපියල් බිලියන ලක්ෂ එකළොස්දාහක් වංචා කළ හැටි ලඟදීම සරල සිංහලෙන්

Spread the love

බැඳුම්කර ගනුදෙනුවෙන් රුපියල් බිලියන ලක්ෂ එකළොස්දාහක් වංචා කළ හැටි විස්තර කෙරෙන වාර්තාවක් ලබන සතියේ එළියට එන බවත් එවිට කෑ කෝ ගසන කාගේත් කටවල් වැසෙන බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති ලෙස පත් නොකරන ලෙස ජනාධිපතිවරයා කියා තිබියදී ඒ ගැන නොසළකා ඔහුව මෙරටට ගෙන්වා මහා බැංකුව ඔහුටම බාර දුන් බවත් පෙන්වා දුන්නේය.

ඔහු මේ අදහස් පළකෙළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට ඊයේ (27) එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

දෙවරක් පැරදුණු අයෙක්ට අගමැතිකම දීම ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස සිටියදී විසිතුන් වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා පැරදිලා තිබෙනවා. එසේ නම් පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් සිටීම ප්‍රජාතන්ත්‍රවාදී වෙනවද? අගමැතිකම හතර වරක් එතුමාට ලැබී තිබෙනවා.

නමුත් එකම වරක්වත් සම්පූර්ණ කාලසීමාව ඉන්න ලැබිලා නැහැ. 2001 අගමැතිකම ලැබුණේ ජී. එල්. පීරිස්, එස්. බී. ඇතුළු කණ්ඩායමක් අයින්වෙලා එජාපයට එකතු වූ අවස්ථාවේ 113 ට වැඩියෙන් අරන් අගමැති වුණා. ඒ හැර අනෙක් හැම අවස්ථාවෙම එතුමා අගමැති වුණේ කවුරු හරි එතුමාව පත්කරපු නිසයි. විජේතුංග ජනාධිපතිවරයා පත්කළා, පසුගිය කාලෙත් ඒ ආකාරයෙන් පත්වුණේ. ඒ හැර ප්‍ර‍ජාතන්ත්‍රවාදීව ඡන්ද බලයෙන් එක් වරක්වත් පත්වුණේ නැහැ. එතුමා දිනුව බව ඇත්ත. නමුත් අගමැති වුණේ තවත් අයගේ සහය ලබාගෙනයි.

මහින්ද රාජපක්ෂ මහතා පැරදිලා ගෙදර ගියාම ජනතාව එතුමා බලන්න ගියා. ඒ වගේම තවත් පක්ෂයක් හදලා බලයත් ගත්තා. අද හරීන් කියනවා ලොම් හැලිච්ච අය යන්න ඕනේ කියලා. නායකත්වයේ වෙනසක් වෙන්න ඕනේ කියනවා. මේවා කාට කියනවාද දන්නේ නැහැ. තරුණයින්ට නායකත්වය දෙන්න ඕනේ කියනවා. එහෙම කියන විට රනිල් කියනවා 2030 දී තමයි තරුණයින්ට නායකත්වය දෙන්නේ කියලා. ඒ අයගේ මේ නායකත්වය පිළිබඳව ගැටලු තිබෙන විට අගමැතිකම ගැන කතා කරනවා.

පක්ෂය තුළ අද ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවාද, පක්ෂයේ අර්බුද ව්‍යවස්ථාවෙන් යටකරගෙන ඉන්නේ. ඒ නිසා අගමැති පත්කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ද කියන දේයි, පක්ෂයේ නායකත්වය දීම ප්‍රජාතන්ත්‍රවාදය ද කියන දේයි එක්සත් ජාතික පාක්ෂිකයින්ම තේරුම් ගත යුතු යැයි අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කීය.

RSL

Related Posts