නව ව්‍යවස්ථාවක් තුළින් මේ රට ෆෙඩරල් කරන්න ඉඩ දෙන්න බැහැ

Spread the love

සංහිඳියාවට බාධා ගෙන දෙන ෆෙඩරල් ක‍්‍රමයක් මෙරටට කිසිසේත් සුදුසු නොවන බව රජයට මතක් කර දෙන බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ප‍්‍රකාශ කළහ.

ඉදිරි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කිරීමට රජයේ සූදානමක් ඇති බවට මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීම පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ කරුණු අනාවරණය කළහ.

අද රටට අත්‍යවශ්‍ය වී තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් නොව නිදහස් ජන ජීවිතයක් සහ සමෘද්ධිමත් ආර්ථිකයක් බව මැදගම ධම්මානන්ද හිමියෝ වැඩිදුරටත් පවසති.

දින විසිපහක් වැනි කෙටි කාලයක් තුළ රටක අනාගතය තීරණය කරන කෙටුම්පත් සංශෝධන ගෙන ඒමෙන් සැබෑ ප‍්‍රශ්න විසඳීමක් කරා යා නොහැකි බව මහා විහාරවාසී සංඝරත්නය තරයේ විශ්වාස කරන බව ද උන්වහන්සේ පැවසූහ.

ඒකීය රටක් සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා වන වගන්ති කිසිවිට සංශෝධනය නොකළ යුතු බවත්, සංහිඳියාවට බාධා ගෙන එන ෆෙඩරල් ක‍්‍රමයක් රටට කිසිසේත් සුදුසු නොවන බව යළිත් රජයට මතක් කර දෙන බවත් යම් හෙයකින් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් සකස් කරන්නේ නම් වහාම මහා විහාර මහනාහිමිවරුන් ඇතුළු ප‍්‍රධාන සංඝරත්නයට ඒ වග දැනුම් දෙන ලෙස ද රජයට දැනුම් දී ඇති බවද උන්වහන්සේ කියා සිටියහ.

දැනට රට තුළ ඇති වී තිබෙන විවිධ වංචා දුෂණ, මත්ද්‍රව්‍ය උවදුරු, අන්තවාදී ජන කොටස්වල අවදිවීම් සහ ඒවාට උනන්දු වන ද්‍රවිඩ සංවිධානවල ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ ක‍්‍රියාකාරකම් පාලනය කිරීමට රජය වහා කටයුතු කළ යුතු බව ද උන්වහන්සේ ප‍්‍රකාශ කර සිටියහ.

RSL

Related Posts