කිසිඳු මහ බැංකු අධිපතිවරයෙක් සිදුනොකළ හොරකමක් අර්ජුන් මහේන්ද්‍රන් කරලා

Spread the love

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් මහතා 2015 පෙබරවාරි 27 දින උදේ 10.45 ට පමණ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පැවැත්වෙමින් තිබියදී මහ බැංකුවේ 10 වැනි මහලේ පිහිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තු වෙත පැමිණි බව එවකට එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරිවරයා ලෙස සේවය කළ ආචාර්ය එම්. ඉසෙඩ් ආසිම් මහතා ඊයේ (02 දා) මහ බැංකු භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය.

තමා එම දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලය තුළ කිසිදු මහ බැංකු අධිපතිවරයකු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියක්‌ පැවැත්වෙමින් තිබියදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණ නැති බව ද හෙතෙම කියා සිටියේය.

එසේම තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් දැනගත් පරිදි අතීතයේදී ද වෙන්දේසියක්‌ පැවැත්වෙමින් තිබියදී මහ බැංකු අධිපතිවරයකු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණ නැතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආචාර්ය ආසිම් මහතා පැවසීය.

මෙහිදී කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා ප්‍රශ්න කළේ මහ බැංකු අධිපතිවරයා එසේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණීම සාමාන්‍ය තත්ත්වයක්‌ ද යන්නයි. එයට පිළිතුරු දෙමින් ආසිම් මහතා කීවේ මහ බැංකු අධිපතිවරයා සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තුවලට යන නමුත් වෙන්දේසියක්‌ පැවැත්වෙමින් තිබෙන අතරතුර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණීම පිළිබඳව තමාට අත්දැකීමක්‌ නැති බවයි.

බැඳුම්කර වෙන්දේසියක්‌ පැවැත්වෙද්දී මහ බැංකුවේ අධිපතිවරයකු පැමිණි පළමු අවස්‌ථාව මෙය බව ද විනිසුරු ජයවර්ධන මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු කීය.

පෙරවරු 10.45 ට පමණ බැඳුම්කර වෙන්දේසි කාමරයට ඇතුළු වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඉන් පිටට ගිය වේලාව නිsශ්චිතව තමාට කිව නොහැකි බවත් ඔහු පැමිණියේ තනිවම බවත් ඔහු සමඟ බැංකුවේ උසස්‌ නිලධාරීන් කිසිවකු නොපැමිණි බවත් බැඳුම්කර වෙන්දේසිය පෙරවරු 11.00 ට අවසන් කිරීමට නියමිතව තිබුණු නමුත් හදිසියේම අලෙවි නියෝජිතයකු ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීමක්‌ මත තවත් විනාඩි 05 කින් වෙන්දේසිය පැවැත්වීමේ කාලය දීර්ඝ කිරීමට සිදු වූ බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊට විනාඩි කීපයකට පෙර පිටව ගිය බවත් සාක්‌ෂිකරු පැවසීය.

එසේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත පැමිණි අර්ජුන මහේන්ද්‍රන් මහතා රාජ්‍ය ණය අධිකාරි දීපා සෙනෙවිරත්න මහත්මියගේ කාමරයට ගොස්‌ වෙන්දේසිය පිළිබඳ තොරතුරු විමසා තිබුණු බව ද, සෙනෙවිරත්න මහත්මිය ඊට පිළිතුරු ලබාදී තිබුණු බව ද ආචාර්ය ආසිම් මහතා කීවේය.

මාර්ග සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ගෙවීම් කිරීමට රජයට අතිරේක මුදල් අවශ්‍යතාවක්‌ ඇති බව ද එම මුදල් වෙන්දේසි ක්‍රමයෙන් ගත හැකි බවට ද අධිපතිවරයා ප්‍රකාශ කළ බව ද පැවසූ ආසිම් මහතා තමා එවිට මෙතෙක්‌ අරමුදල් සපයා ගැනීම සඳහා වෙන්දේසි ක්‍රමය සහ සෘජු නිකුත් කිරීම් යන ක්‍රමවේදය අනුගමනය කළ බව පෙන්වා දුන් බවත් එවිට මහේන්ද්‍රන් මහතා වෙන්දේසි ක්‍රමයෙන් අරමුදල් සපයා ගත යුතු බව ප්‍රකාශ කළ බවත් කියා සිටියේය.

අර්ජුන් මහේන්ද්‍රන් යනු වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතා හොඳ සමීපතම මිතුරෙකු වන අතර ඔහුට මහ බැංකු අධිපති තනතුර භාර දෙන ලෙසත්, තවදුරටත් සේවා දිගුවක් දෙන ලෙසටත් දිගින් දිගටම බලපෑම් කරනු ලැබුවේද රනිල් වික්‍රමසිංහ මහතාය.

RSL

Related Posts