අර්ජුන් යට ගැසූ මුදල් මණ්‌ඩල පත්‍රිකාව විගණාකාධිපති අතට ගෙන බැඳුම්කර කොල්ලය ඇල්ලු හැටි

Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඕනෑම මුදල් මණ්‌ඩල පත්‍රිකාවක්‌ පරීක්‍ෂා කිරීමේ බලය රජයේ විගණකාධිපතිට ඇතැයි රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

මහ බැංකු මුදල් මණ්‌ඩල පත්‍රිකාවක්‌ ගැන සඳහන් කරමින් ඔබ කොහොමද මේ ලේඛනය ගෙන්වා ගත්තේ යෑයි අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ප්‍රශ්න කළ අවස්‌ථාවේදී රජයේ විගණකාධිපති වරයා එසේ කීවේය.

විගණකාධිපති ලෙස තමාට මහ බැංකුවේ ඕනෑම මුදල් මණ්‌ඩල පත්‍රිකාවක්‌ ගත හැකි බවද, ඒ අනුව තමා එය ගෙන්වා ගත් බවද විගණකාධිපතිවරයා කොමිසමට කීවේය. මුදල් මණ්‌ඩල පත්‍රිකා පමණක්‌ නොව තවත් බොහෝ ලේඛන කැඳවනු ලබන බවද හෙතෙම කියා සිටියේය.

නීතිඥ චානක ද සිල්වා මහතා – ඔබ මේ මුදල් මණ්‌ඩල පත්‍රිකාව අරන් තිබෙන්නේ ඔබේ ගණනය කිරීම හරි කියල පෙන්වන්න නේද?

රජයේ විගණකාධිපති – මගේ ගණනය කිරීම් හරි බවට නැවත තහවුරු කිරීමක්‌ අවශ්‍ය වෙන්නේ නැහැ. සෘජු නිකුතු ක්‍රමයෙන් ඉවත් වීම නිසා ඇතිවූ බලපෑම තමයි මම මෙහිදී සලකා බැලුවේ. මේ සඳහා මහ බැංකු නිලධාරීන් වගකිව යුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා (සාමාජික) – අධිපතිද ඇතුළුව?

රජයේ විගණකාධිපති – ඔව්. අධිපති ඇතුළු මහ බැංකු නිලධාරීන් වගකිව යුතුයි.

නීතිඥ චානක ද සිල්වා මහතා – ඔබේ වාර්තාවේ ඇති නිගමනයන් වැරැදි සහගතව, ද්වේශ සහගතව සහ පදනම් විරහිතව ඉදිරිපත් කළා කියා මම ඔබට යෝජනා කරනවා?

රජයේ විගණකාධිපති – මා එය ප්‍රතික්‌ෂේප කරනවා.

නීතිඥ චානක ද සිල්වා මහතා – ඔබ මේ නිගමනයන්ට එන්න කලින් අධිපති සමඟ සාකච්ඡා කළාද?

රජයේ විගණකාධිපති – නැහැ.

නීතිඥ චානක ද සිල්වා මහතා – ඔබේ වාර්තාවේ ඇති අවාසි ගණනය කිරීමේ කිසිම සාධාරණ පදනමක්‌ නැහැ?

රජයේ විගණකාධිපති – මා එය ප්‍රතික්‌ෂේප කරනවා.

නීතිඥ චානක ද සිල්වා මහතා – එය ඉතා බොළඳ පදනමක්‌ මත සකස්‌ කළ බවටත් මා යෝජනා කරනවා?

රජයේ විගණකාධිපති – මා එයත් ප්‍රතික්‌ෂේප කරනවා.

රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා අදත් ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා කොමිසමට පැමිණීමට නියමිතය.

-ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ සරත් ධර්මසේන-
-දිවයින-

RSL

Related Posts