බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව ඉලක්කම්වලින් ලියන්න පුළුල් තිරයත් මදි -CB පරිගණක අංශයේ අධ්‍යක්‍ෂ

Spread the love

තමා කොමිසම හමුවේ පෙන්වා දුන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පාලනය යටතේ ඔහුගේ බෑනාගේ සමාගමත් සමඟ සිදුකළ ගනුදෙනු කිහිපයකින් සිදුවූ ක්ෂණික අලාභය පමණක් බවත් එකී ගනුදෙනුවලින් දිගින් දිගටම වසර 30ක් පුරා සිදුවන අලාභය ගණනය කළා නම් ඒ ඉලක්කම් ගණන ලියන්නට පුළුල් තිරයද ඉඩ මදි වනු ඇති බවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නීතිඥවරයා නැඟූ හරස් ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිගණක අංශයේ අතිරේක අධ්‍යක්‍ෂ වසන්ත ද අල්විස් මහතා ඊයේ (28දා) මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හා එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් (හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑනා) වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා පෙරදින සාක්‍ෂි දුන් වසන්ත ද අල්විස් මහතාගෙන් එකී සාක්‍ෂියේදී සඳහන් කරන ලද කරුණු සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඇසීම ඊයේ දිනය පුරාම සිදුවිය.

ඉහත පිළිතුර වසන්තද අල්විස් මහතා ඔහුට ලබා දුන්නේ පෙර දිනයේදී තමා විසින් පෙන්වා දෙන ලද තරම් විශාල අලාභයක් එම ගනුදෙනුවලින් ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුව නැති බවට කරන ලද යෝජනාව ප්‍රතික්‍ෂේප කරමිනි.

කොමිසම එහි සභාපති ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා එහි සෙසු සාමාජික කොමසාරිස්වරුන් දෙදෙනා වන ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විතවය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් සාක්‍ෂි දුන් වසන්ත ද අල්විස් මහතා හරස් ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් මෙසේද කියා සිටියේය.

මා මෙම කොමිසම හමුවට පැමිණ මෙම තොරතුරු අනාවරණය කරන්නේ ඔබතුමා මෙන් කාගෙන්වත් ලබාගන්නා ගාස්තුවක් වෙනුවෙන් නොවේ. මා මගේ රට වෙනුවෙන්. රටට මෙම දූෂිත ගනුදෙනුවලින් සිදුවූ බරපතළ හානිය පියවා ගැනීමට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙම තොරතුරු ඉතාමත්ම ප්‍රයෝජනවත් වන නිසයි ඉදිරිපත් කළේ.

මා කුමන අවදානමකට වුවත් මුහුණ දීමට සූදානම් නිසයි මෙලෙස විශ්වසවන්තවම ගරු කොමිසම හමුවේ මේවා හෙළිකරන්නේ. මෙම ගරු විනිශ්චයකාර තුමන්ලා ගැන තිබෙන අසීමිත විශ්වාසය නිසයි මා තීරණය කළේ කොමිසම හමුවේ නිර්භයව මේ කරුණු ප්‍රකාශ කළ යුතුයි කියා.

ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා: ඔබ පෙන්වා දෙන්නේ එම ගනුදෙනුවල ගණන් හිලව්වල “වෙනස”යි එය අලාභය නොවෙයි.

සාක්‍ෂිකරු: වෙනස තමයි අලාභය වෙන්නේ. වෙනසක් නැත්නම් අලාභයක් නැහැ. මේ වෙනස තුළින් තමයි මෙතරම් බරපතළ මූල්‍ය විනාශයක් සිදුව ඇති බව පෙනෙන්නේ.

සභාපති විනිසුරු: එය Lost එකක් හැටියට හෙවත් අලාභයක් හැටියට තමයි ලංකා සෙට්ල්ස් සිස්ටම් (Lanka Settles System) වලින් දක්වා ඇත්තේ.

දිගින් දිගටම නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ යෝජනා ප්‍රතික්‍ෂේප කරමින් වසන්ත ද අල්විස් මහතා මෙම ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු සිදුකර ඇත්තේ ඉතා සූක්‍ෂ්ම ලෙස සැලසුම්කොට එකම රටාවකට ඒවා සිදුවීමෙන්ම තහවුරු වන බවද ප්‍රකාශ කළේය.
කොමිසම අද (29දා) යළි රැස්වේ.

RSL

Related Posts