පිපිරීම් හේතුවෙන් මිය ගිය ගණන 207 දක්වා ඉහළට! තුවාලකරුවන් 450 ක්

Spread the love

අද(21) කිතුණු බැතිමතුන්ට සුවිශේෂී දිනයක් වන පාස්කු ඉරිදා , ශ්‍රී ලංකාවාසීන්ට මෙන්ම සමස්ත ලෝක වාසීන්ටම ශෝක දිනයක් බවට පත්විය.

ඒ කොච්චිකඩේ , කටාන සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක , කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක මෙන්ම දෙහිවල සහ දෙමටගොඩ ආදී ස්ථාන 08 ක සිදු වූ පිපිරීම් හේතුවෙන්.

එම පිපිරීම්වලින් පුද්ගලයන් 207 දෙනකු මිය ගොස් 450 දෙනකු තුවාල ලබා තිබේ.

කෙසේ වෙතත් මේ පිපිරීම් මාලාවේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නැහැ.

දිවයිනේ ස්ථාන හයක අද උදෑසන 8.45 ත් 9.00 ත් අතර පිපිරීම් මාලාවක් සිදුවූයේ ශ්‍රිලංකාව මෙන්ම සමස්ත ලෝකයම කම්පනයට ලක්කරමින්.

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ , කටාන කටුවාපිටියේ සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන දෙකක මෙන්ම කොළඹ ෂැංග්‍රිලා , කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන සුපිරි හෝටල පරිශ්‍රවල මෙම පිපිරීම් මාලාව සිදුවිය.

ක්‍රිස්තූස් වහන්සේගේ මරණයෙන් උත්ථානවීම සිහිපත් කෙරෙන පාස්කු දින දේව මෙහෙයන් පැවත්වෙමින් තිබූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයෙන් පළමු පිපිරීම වාර්තාවිය.ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ දේව මෙහෙයට පැමිණ සිටි බැතිමතුන්.

මේ අතර ඊට සුළු වේලාවකට පසු කටාන කටුවාපිටියේ කතෝලික දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය ඉලක්ක කරගනිමින්ද පිපිරීමක් සිදුවිය. කෙච්චිකඩේ දේවස්ථානයේ සහ කටුවාපිටිය දේවස්ථානයේ පිපිරුම්වලින් තුවාල ලැබූවන් වහාම කොළඹ ජාතික රෝහලට සහ මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමට ආරක්ෂක අංශ සහ ජනතාව එක්ව කටයුතු කළේය.

මේ අතරතුර මඩකලපුව නගර මධ්‍යයේ පිහිටා ඇති සියෝන් කතෝලික දේවස්ථානයේද උදෑසන 8.50ට පමණ තවත් පිපිරීමක් සිදු වූ අතර එහි ඉලක්කය වී තිබුණේත් පාස්කු දේව පුජාවට පැමිණ සිටි බැතිමතුන්.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් මඩකලපුව රෝහලට ඇතුලත් කළ අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි පිරිස් වහාම පොලොන්නරුව රෝහලට මාරුකර යැවුණි. කිතුණු දේවස්ථාන තුනක මෙලෙස පිපිරීම් සිදුවෙන අතරතුර කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ආශ්‍රිතවත් පිපිරීම් තුනක් සිදුවිය.

ඒ කොළඹ ෂැංග්‍රිලා ,කිංග්ස්බරී සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් පරිශ්‍රවලයි. දේශිය හා විදේශිය සංචාරකයින්ගේ ප්‍රධාන නවාතැන් පොලක් වන ෂැංග්‍රිලා හෝටලයේ පිපිරිම සිදුව තිබුනේ අද උදෑසන 8.45ත් 9.15ත් අතර කාලයේදියි.

RSL

Related Posts