කළු සල්ලිවලින් රැස් කළ දේපළ රාජපක්ෂලා ඉතිරි කරලා ගිය තවත් දායාදයක්!

Spread the love

මිනිස් ජීවිත ගණනාවක් බිලි ගත්, කඩා වැටුණු වැල්ලවත්ත තට්ටු ගොඩනැඟිල්ලේ හිමිකරු කවුදැයි සොයා ගැනීමට දින ගණනක් ගියා. අපි හිතුවේ මේකෙත් ඩේසි ආච්චි ළඟ දමා ගිය මැණික් මල්ල, ඇලන් මැතිනිආරාමයේ අතරමං කර ගිය අලි පැටියා, එහෙමත් නැත්නම් මල්වානේ මාලිගාව වැනි තවත් හිමිකරුවකු නැති දේපළක් කියලයි. කළු සල්ලි මත රැස් කළ අසාමාන්‍ය හිමිකරුවන් නැති වටිනා දේපළ රාජපක්ෂ ශිෂ්ටාචාරය අපට ඉතිරි කර ගිය තවත් දායාදයකැයි ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා කියයි.

ඔහු එසේ සඳහන් කළේ පසුගියදා පැල්මඩුල්ල පනාවැන්න ප්‍රදේශයේ යෝජිත ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමට නියමිත භූමි භාගය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනි. ගන්කන්ද මහතා සඳහන් කළේ දකුණු ආසියාවේ ප්‍රථම ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානය පැල්මඩුල්ලේ ඉදිකළ යුතු බවට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළ බවය.

දකුණු ආසියාවේ මෙම පළමු ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානය රාජපක්ෂ සමයේ අවසන් වකවානුවේ ඉදිරිපත් වූවකි. සිරිත් පරිදි ඒ යුගයේ මෙවන් දැවැන්ත ඉදිකිරීම් ව්‍යපෘති ඔවුන් හම්බන්තොටට ගෙන යනවා. එහෙත් එම සැලසුම් අතරතුර රාජපක්ෂ ආණ්ඩුව කඩා වැටුණා. පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ධුරයට පත් වීමෙන් පසු කිසියම් පිරිසක් මෙය පොළොන්නරුවේ ඉදිකළ යුතු බවට අදහස් කර තිබුණා. එහෙත් මහපොළවේ ජීවත් වන අපේ වත්මන් ජනාධිපතිතුමා මෙවන් මධ්‍යස්ථානයක් ඉදිවිය යුත්තේ පොළොන්නරුවේ නොව නිතර ස්වාභාවික ආපදා සිදුවන රත්නපුර දිස්ත්‍රික්කයේ බවට තීරණය කළැයි පැවැසූ නියෝජ්‍ය අමැතිවරයා මෙසේ පැවැසීය.

එම සමස්ත ව්‍යාපෘතිය සඳහා රජයේ අනුමත ඇස්තමේන්තු මුදල රුපියල් බිලියන 2.3ක්. ඉදිකිරීම් පළමු අදියර සඳහා 2017 ජාතික අයවැයෙන් රුපියල් ලක්ෂ 500ක් වෙන්කර දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තා. එහෙත් ඒ සඳහා සුදුසු බිම් කොටසක් ලබා ගැනීම ඇතුළු පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ වත්මන් රජය සැලසුම් කළ සියලු සංවර්ධන ව්‍යාපෘති එක්තරා නිලධාරි හෙනහුරෙක් යට ගැහුවා. ඔහු හැම විටම කටයුතු කළේ වත්මන් රජයේ වැඩකටයුතු යට ගැසීමටයි. කොටින්ම පරංගියා කෝට්ටේ ගියා වගේ හොර පාරවල් පෙන්නුවා මිස නියම මඟ ඔහු අවහිර කළා. එහි ප්‍රතිඵලය වූයේ මෙම යෝධ ඉදිකිරීමේ කටයුතු මාස 18ක් අතපසු වීමයි. වාසනාවකට දැන් මේ නිලධාරි හෙනහුරා රත්නපුර දිස්ත්‍රික්කයෙන්ම චුත වෙලා ගිහින්. යෝජිත ඉදිකිරීම සඳහා අදාළ බිම් කොටස දැන් අපට ලැබී තිබෙනවා. අපි මේ වසරේම දැනටමත් වෙන් කර ඇති රුපියල් ලක්ෂ 500ක මුදලෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා.

ඉදිකිරීම් කටයුතු කී විට මේ මෑතක සිදුවූ වැල්ලවත්ත අනාරක්ෂිත බහුමහල් ගොඩනැඟිල්ල සිහිපත් වෙනවා. හිමිකරුවන් නැති අවිධිමත් අනාරක්ෂිත ගොඩනැඟිලි ඇතුළු දේපළ රාජපක්ෂ ශිෂ්ටාචාරය අපට ඉතිරි කර ගිය දේවල්. මේ වන විට කුමන උපක්‍රමයකින් හෝ යළිත් ඒ අශිෂ්ට යුගයට පණ පෙවීමට පරාජිත බලවේග වලි කනවා. එක් අතකින් ජාතිවාදය අවුස්සනවා. තවත් අතකින් ආගමික ගැටුම් අවුස්සනවා. කොටින්ම උතුරු නැඟෙනහිර අඹුසැමි රණ්ඩුවක් වුණත් ජාතිවාදී කලකෝලාහලයක් ලෙස හුවා දැක්වීමට ඔවුන් වලිකනවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිට අපහාස උපහාස කළ උදවිය එතුමා මෙහි පැමිණිදා බැහැ දැකීමට රෑ කාලේ තෝරාගත්තා. මෝඩි මහතාට කළ ගැරහුම්වල හැටියට වස්තරයක් ඇඳන් එතුමා හමුවට යෑමට නොහැකි බැවින් ඒ හමුව සඳහා විශ්‍රාමික රාජපක්ෂ රජතුමා කළුවර රැයක් තෝරා ගත්තේ යැයිද ගන්කන්ද මහතා කීය.

RSL

Related Posts