දෙසැම්බර් 09 වනදාට පෙර අලුත් ජනාධිපතිවරයෙක්..!

Spread the love

2019 දෙසැම්බර් 09 වන දිනට පෙරාතුව මැතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා ගත යුතුව ඇති බව පවසමින් පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයාට සහ කථානායකවරයා ලිපියක් යොමු කර ඇත.

එම ලිපියේ සඳහන් පරිදි ඔවුන් දන්වා ඇත්තේ මේ වන විට ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සියල්ලම මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරයන් යටතේ පාලනය බව බවයි.

ඌව පළාත් සභාවේ නිල කාලයද ඔක්තෝබර් මාසය වන විට අවසන් වීමට නියමිත නමුත් පළාත් සභා නව මැතිවරණ ක‍්‍රමයට අනුව පවත්වන්නට අවශ්‍ය සීමා නීර්ණය අවසන් කරන්නට තවමත් අපොහොසත් වී ඇති බව ඔවුන් සඳහන් කර ඇත.

එහෙත් මේ වන විට නැවත වරක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඇති නීතිමය ඉඩකඩ පරීක්ෂා කිරීමට ජනාධිපතිතුමන්ගේ පාර්ශවයෙන් උත්සහයක් ගන්නා බව වාර්තා වන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

එමෙන්ම ජනාධිපතිවරණය 2019 දෙසැම්බර් 9 වන දිනට පෙරාතුව පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා ගතයුතුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් මෙම මැතිවරණ දෙකම එකම දිනයක පැවැත්වීමට හැකිවන පරිදි පළාත් සභා මැතිවරණ ක‍්‍රමයට අදාල නීතිය සංශෝධනය කිරීම හෝ වර්තමාන නීතිය බලාත්මක වන දිනය ඉදිරියට ගෙන යාම මගින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ සලසන ලෙසට වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන් ලෙස ජනාධිපතිවරයාගෙන්, අග‍්‍රාමාත්‍යවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින පැෆ්රල් සංවිධානය දන්වා ඇත.

ඒ හරහා මහජනතාවගේ මුදල් අනිසි ලෙස වැය වීම වලක්වා ගත හැකි අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරන ආකාරයට අවම වශයෙන් කෝටි 200 ක මුදලක් ඉතිරි කරගත හැක.

එමෙන්ම එක් මැතිවරණයකින් අනතුරුව කඩිනමින් තවත් මැතිවරණයකට යාම ඒ එක් එක් මැතිවරණයේ තිබිය යුතු ස්වාධීන මහජන මතය ප‍්‍රකාශ කිරීමේ ඉඩ අහිමි වී කෘතිම දේශපාලන රැල්ලක් නිර්මාණය වීමේ හැකියාව ඇති අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවැසි යහපත් ලක්ෂණයක් නොවේ.

එසේම මාස 6ක් ඇතුලත මැතිවරණ දෙකක් පැවැත්විමට ක‍්‍රියාකලහොත් එම මාස 6 කාලය තුළම ආණ්ඩුවේත් විපක්ෂයේත් සියලූම දේශපාලනඥයන් සිය මහජන කාර්යය පසෙක තබා සිය පක්ෂයේ මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කරනු ඇත.

එය රටේ සංවර්ධනයටත් ජනතාවගේ එදිනෙදා පැවැත්මටත් අහිතකර ලෙස බලපෑ හැකිය.

එබැවින් මෙම මැතිවරණ දෙක එකවිට පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන පාර්ලිමේන්තුව තුළ සකස් කිරීමට අවශ්‍ය නායකත්වය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන්, අග‍්‍රාමාත්‍යවරයාගෙන් සහ කථානායකවරයාගෙන් පැෆ්රල් සංවිධානය ඉල්ලා ඇත.

RSL

Related Posts