බැසිල්ගේ මල්වානේ සුපිරි ඉඩම යළි රාජපක්ෂවරු අතට..?

Spread the love

බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා තමන්ට අයිති නැති බව පවසන මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්කර දහසයක ඉඩම සහිත සුඛෝපභෝගී නවීන පන්නයේ දෙමහල් නිවෙස පිළිබඳව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙන හෙයින් නඩුවේ ඉදිරි කටයුතු ගම්පහ මහාධිකරණයට තබමින් එම නඩුවේ මුල් ලිපි ගොනුව මහාධිකරණයට යොමු කරන ලෙසට පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලි ලංකාපුර මෙනෙවිය ඊයේ (6) නියම කළාය.

මෙහි වැඩිදුර විභාගය ඊයේ (6) පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කෙරිණි. හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා හිටපු නියෝජ්‍ය ඇමැතිනි නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා මේ නඩුවේ පිළිවෙළින් පළමුවන හා දෙවන වගඋත්තරකරුවෝ වෙති.

තවද තිරුකුමාර් නඩේසන් යන අය බැසිල් රාජපක්ෂ මහතාගේ ඥාති සොහොයුරෙකු ද වේ.

ඊයේ (6) මේ නඩුව යළි කැඳවූ අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.සී.පී. රණසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය. මේ නඩුව සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ නඩුවට අදාළ ඉඩම හා දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල එම නඩුවට අදාළව ගිණුමකට බැර කරනවා කියලා අධිකරණයෙන් නියෝගයක් දී තිබුණා. පසුව වෙන්දේසිය අත්හිටුවා මහජන කටයුත්තක් සඳහා රජයට පවරා ගැනීමට ඇමැති මණ්ඩලය තීරණයක් ගෙන තිබූ නිසා වෙන්දේසි කිරීම අත්හිටවූවා.

මේ ගැන නීතිපති සමඟ සාකච්ඡා කළා. ඒ අනුව මෙහි වගඋත්තරකරුවන්ට එරෙහිව දැනට ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙන නිසා මේ නඩුව මහාධිකරණයට යොමු කරන ලෙසට නීතිපති උපදෙස් ලබා දුන්නා. මේ නඩුව ලබන මැයි මස 3වැනි දින මහාධිකරණයේ කැඳවා තිබෙනවා. මෙහිදී ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ලබා දෙමින් මෙසේ කීවාය. මේ නඩුව මුලින්ම විභාග කළ පූර්වගාමී මහේස්ත්‍රාත්තුමා ඉඩම හා නිවෙස ප්‍රසිද්ධියේ විකුණා එම මුදල මේ නඩුවට අදාළ ගිණුමකට බැර කරන්න නියෝගයක් දී තිබුණා. පසුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් කළ වැඩිපුර වාර්තාවක් සැලකිල්ලට ගෙන එම නියෝගය අත්හිටුවීමට පමණක් මා නියෝගයක් ලබා දුන්නා. තවද අද දින වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් කළ ඉල්ලීමක් අනුව මේ නඩු වාර්තාවේ ලිපි ගොනුවක් මේ අධිකරණයේ තබා ගෙන වගඋත්තරකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙන ගම්පහ මහාධිකරණයට මේ නඩු වාර්තාවේ මුල් ලිපි ගොනුව යොමු කරන ලෙසට නියම කරනවා.

තවද මේ ඉඩම හා නිවෙස සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සියලු පියවර මහාධිකරණයෙන් ගත යුතු බවද නියම කරනවා. තවද මේ ඉඩම හා නිවෙස අධිකරණය යටතේ පවතින දේපළක් බැවින් ඒ දේපළ සම්බන්ධව ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග අධිකරණයට දැන්විය යුතු බවට නියම කරනවා. මින් ඉදිරියට මේ නඩුව මේ අධිකරණයේ කැඳවීමට අනවශ්‍ය වන බව ද දන්වා සිටිනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.සී.පී. රණසිංහ හා සැරයන් ගුණසේකර යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වූ අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ පියසේන කාරියප්පෙරුම මහතා පෙනී සිටියේය.

-දිනමිණ-

RSL

Related Posts