රාජපක්ෂවරුන් කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සහ සංවිධාන අංශ ප්‍රධානී බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ සහ වාසුදේව නානයක්කාරට දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවේ නිල කාලය නිමාවීමට වසරක් වැනි කෙටි කාලයක් තිබියදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවමුයි කියමින් සෙසු අය කුලප්පු කරමින් ඊට කඩේයෑමට විමල් සහ වාසුදේව යන මන්ත්‍රීවරුන් දරනා උත්සහයට බැසිල් තම දැඩි විරෝධය පළකර ඇති අතර ඊට කිසිඳු ඉඩක් තමා ලබා නොදෙන බවද පවසා ඇත.
මේ මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි දේශපාලන අරාජිකත්වයකට පත්ව ඇති බවත්, ආණ්ඩුව දැඩි ආර්ථික අර්බුදයකට ගොදුරු වෙමින් පවතින බවත් පෙන්වා දී බැසිල් රාජපක්ෂ මෙම තත්වයන් යටතේ ආණ්ඩුවකට මුක්කුගසා අපට සිදුවන්නේ දැඩි පරිශ්‍රමයකින් ගොඩනඟා ගත් දේශපාලන ශක්තිය සහ ජනතා විශ්වාසය නිකරුනේ දිය කර හැරීමට පමණක් බවත් පවසා ඇත.
කිසිවෙකුත් නොකළ කැපකිරීම් සහ ගැරහීම් මධ්‍යයේ තමා පක්ෂය ගොඩනගමින් ඉලක්ක ගත ජයග්‍රහණයක් කරා මෙහෙයවමින් සිටින මොහොතක ඔබලාගේ පටු දේශපාලන අරමුණු සහ තාවකාලික තනතුරු ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් ඩීල් ගැසීමට නොපැමිණෙන ලෙස පවසමින් විමල්ට සහ වාසුට බැසිල් පල නොකියා පලා බෙදා ඇති බවත් සඳහන්.
කෙසේ වෙතත් මේ වන විට මහින්ද රාජපක්ෂ කල්ලියේ කිහිපදෙනෙකු සහ මෛත්‍රීපාල සිරිසේනගේ 16 කල්ලියේ කිහිපදෙනෙකු මීට ඉහත විශ්වාසභංගයෙන් අගමැති රනිල් වික්රමසිංහව එලවීම සඳහා කඩේ ගිය අයුරින් සාකච්ඡා පවත්වමින්, හමු සංවිධානය කරමින් තෙල් සහ කාලය පුච්චමින් සිටින බවට වාර්තාවේ.
පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර මීට සමගාමී සාකච්ඡාවක් දෙපාර්ශවයේ සංවිධායකයින්ගේ මැදිහත් වීම මත පවත්වා තිබිණ.