පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් මැතිවරණ කොමිෂන් සභාවට යයි

Spread the love

පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටු වාර්තාවේ ආයතන විස්සක පමණ කේවල හා බහු ආසන වෙන් කිරීමේදී දෝෂ රැසක් සිදුවී ඇති බව පොදු ජන පෙරමුණේ මැතිවරණ නිත්‍ය නියෝජිත කණ්ඩායම මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇත.

මෙසේ පෙන්වා දී ඇත්තේ මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ මැතිවරණ නිත්‍ය නියෝජිතයන් අතර ඊයේ (27දා) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැති රැස්වීමේදීය.

පොදු ජන පෙරමුණේ නිත්‍ය නියෝජිත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ එම පක්ෂයේ ජේ‍යෂ්ඨ සාමාජිකයකු වන බැසිල් රාජපක්ෂ විසිනි. මැතිවරණ කොමිසම සමඟ පැවැති නිත්‍ය නියෝජිත රැස්වීමකට පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ සහභාගි වූයේ ප්‍රථම වරටය.
එසේ දෝෂ සහිත පළාත් පාලන ආයතන අතරින් අත්තනගල්ල ප්‍රාදේශීය සභාව උදාහරණයට ගෙනහැර දැක්වූ බැසිල් රාජපක්ෂ එහි ආසන 30න් 20ක් කේවල ආසන වන බවත් ඉතිරි 5 බහු ආසන වන නමුත් සීමා නිර්ණ ගැසට් පත්‍රයෙහි සඳහන් වන්නේ කේවල 22 හා බහු කොට්ඨාස 4ක් වශයෙන් සභික ධුර 30ක් වශයෙන් බවත් කියා තිබේ.

පළාත් පාලන ඡන්දයට පෙර මෙවැනි තාක්ෂණික දෝෂ නිවැරැදි කරන ලෙසත් එසේ නොකොට ඡන්දය පැවැත්වුවහොත් ප්‍රතිඵල නිකුත් කිරීමේදී ගැටලු ඇති වන බවත් හෙතෙම පෙන්වා දී ඇත. එම තාක්ෂණික දෝෂ නිවැරැදි කිරීම සඳහා විෂය භාර කැබිනට් ඇමැතිවරයාට නිර්දේශ කරන බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහිදී එකඟ වී තිබේ.

නිත්‍ය නියෝජිත රැස්වීම සඳහා සහභාගි වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැතිවරයා පවසා ඇත්තේ දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී සාකච්ඡා කර සියලු දෙනාගේ එකඟත්වයෙන් කටයුතු කරන බවයි.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බව සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත. අදාළ පනත සංශෝධනය කර හැකි ඉක්මනින් ඡන්ද පැවැත්වීමට පක්ෂ නියෝජිතයෝ සියලු දෙනාම එකඟත්වය පළ කර තිබේ.

RSL

Related Posts