බදු නොගෙවා සුපිරිම ජීවිත ගතකරන්නේ අපේ හාමුදුරුවරු – පූජ්‍ය වනවාසී රාහුල හිමි

Spread the love

විහාර දේවාලගම් පනත සංශෝධනයට ලක් කර ඉපැරැණි විහාරස්ථානවලට ලැබෙන ආදායම් රජයට ලබාගෙන එමඟින් අරමුදලක් ඇති කොට නොදියුණු විහාරස්ථාන දියුණු කිරීමටත්, භික්‍ෂුන් වහන්සේලාගේ සහ බෞද්ධයන්ගේ සුබසිද්ධිය සඳහා යෙදවීමටත් කටයුතු කරන ලෙසටත් තමන්වහන්සේ ආණ්ඩුවට විවෘත යෝජනාවක් කරන බව ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති.

පසුගිය 25 වැනිදා පෙරවරුවේ අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. උන්වහන්සේ මෙසේද කීය.
අද මේ වන විට සමාජයේ කතිකාවතක් බවට පත්ව තිබෙනවා රන්ගිරි දඹුලු රජමහ විහාරස්ථානයේ දිනක ආදායම් රජයට පවරාගෙන සංස්කෘතික ත්‍රිකෝණය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය කිරීම පිළිබඳ. අදාළ විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්තරා පුවත්පතක් පළකර තිබුණු රන්ගිරි දඹුලු විහාරස්ථානයේ දිනෙක ආදායම රුපියල් ලක්‍ෂ තිස්පහත් අසූවත් අතර කියලා.

එතකොට ඕනෑම කෙනකුට ප්‍රශ්නයක් එනවා මේ ලැබෙන ආදායම් කොහාටද යන්නේ කියන කාරණය පිළිබඳව. මම මේ කරන ප්‍රකාශය කා සමඟවත් ඊර්ෂ්‍යාවට, වෛරයට හෝ කේ‍රා්ධයට කරන එකක් කියලා කිසිවකුත් හිතන්න එපා. මේ ප්‍රකාශය එහෙම ප්‍රකාශයක් නෙවෙයි. මීට වසරකට පමණ පෙර මම වත්මන් ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් ලිඛිතව ඉල්ලීමක් කළා විහාර දේවාලගම් පනත සංශෝධනය කර මේ රටේ තිබෙන ඉපැරැණි විහාරස්ථානවල අධිපතිත්වයට කිසියම් හිමිනමක් පත් කරන විට එය වසර පහකට සීමා කරන නීති ගෙන එන්න කියලා.

අද බදු නොගෙවා සුපිරිම ජීවිත ගත කරන්නේ මේ රටේ හාමුදුරුවෝ කියලා මා හිතනවා. බොරුයි කියලා කියන්න කාටවත් බෑ.
මේ බුද්ධ ශාසනය ආරක්‍ෂා වී තිබෙන්නෙ ගම්වල වැඩ සිටින අහිංසක භික්‍ෂුන් වහන්සේලා නිසා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් අපේ රටට ජාතියට ආගමට පරිහානියක් වනවට මම කැමැති නෑ. නමුත් ජනතාව අතර කලකිරීමක් තිබුණත් අකිල විරාජ් ඇමැතිතුමා ගැනීමට යන මේ තීරණය පිළිබඳව මේ අවස්ථාවේ මම ආණ්ඩුවත් සමඟ ඉන්නවා.

මේ රටේ ප්‍රසිද්ධ භික්‍ෂුන් වහන්සේ නමකගේ රුපියල් කෝටි දහයහමාරකට විදලා කියලා ජාතික පුවත්පතක ප්‍රවෘත්තියක් තිබුණා. මේ භික්‍ෂුන් වහන්සේට මේ මුදල් ලැබුණේ කොහෙන්ද? මේවා බුදු දහමට එකඟද නැද්ද කියලා හෘද සාක්‍ෂියට තට්ටු කරලා අහන්න බලන්න.

මේවා බොරු නෙවෙයි. මේවා ගැන භික්‍ෂුන් වහන්සේලා ජනතාව සහ බෞද්ධ සංවිධාන සංඝ සභාවලින් විවිධ ආඥා පනවයි කියලා කතා කිරීමට බයයි. බයවෙන්න දෙයක් නෑ. මොකද නිකායෙන් නෙරපන්න මීට වැඩිය දේවල් මේ රටේ සිදුවෙනවා. අර පසුගිය දවසක බුදු වුණා යැයි කියන හාමුදුරුවෝ ගැන ඕන තරම් කතාබහට ලක්වෙනවා. ඊට එරෙහිව මොනවද කළේ. කිසිම නිකායකට හෝ මහ නායක හාමුදුරුනමකට ඒ ගැන කෙළින් කතා කිරීමට හෝ ඊට එරෙහිව තීරණයක් ගන්න හැකි වුණාද. මම මේ ප්‍රකාශය කරන්නේ මට රකින්න දෙයකුත් නෑ. රකින්න පරපුරකුත් නැති නිසයි. මේ රටේ පරිහානියට පත්වේගෙන යන බුද්ධ ශාසනයයි, සංඝ ශාසනයයි බෞද්ධයාවයි ආරක්‍ෂා කිරීමට පන්සල්වල තිබෙන පින් පෙට්ටි ටික ඔක්කොම හොල්ලලා ඉවර වෙලා බුද්ධ ශාසනයේ පුනර්ජීවනය වෙනුවෙන් අරමුදලක් ඇති කරන්න කටයුතු කරන්න කියලා මා ඉල්ලා සිටිනවා.

-මව්බිම-

RSL

Related Posts