බැසිල්ට තවත් ඇපයක්

Spread the love

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතාට විවෘත අධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රය භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්‌ෂයක මුදල් හා රුපියල් ලක්‌ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (15 දා) නියෝග කළේය.

එම ශරීර ඇපකරුවන් දෙදෙනා අතරින් එක්‌ අයකු පවුලේ සමීප ඥතියකු විය යුතු බවටද කොන්දේසියක්‌ පැනවූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර බැසිල් රාජපක්‌ෂ මහතාගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි සම්බන්ධ වාර්තාවක්‌ කැඳවීමට ද නියෝග කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතර ලක්‌ෂයක්‌ වැයකර දිවිනැගුම ලිත් පනස්‌ ලක්‌ෂයක්‌ මුද්‍රණය කර බෙදාහැරීම ඇතුළු අධිචෝදනා පහක්‌ යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව කැඳවූ අවස්‌ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කළේය. අධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසි නියෝග අනුව පළමුවන විත්තිකාර බැසිල් රාජපක්‌ෂ මහතා ඊයේ (15 දා) මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. එම නඩුවේ දෙවන විත්තිකාර දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට පෙර නඩු දිනයේදී අධිකරණය විසින් ඇප නියම කොට තිබුණි.

එම නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීමට ලබන මැයි 24 වැනිදා යළි කැඳවන ලෙසට ද විනිසුරුවරයා එහිදි නියෝග කළේය.

රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා සමග රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය විය.

RSL

Related Posts