අසාම් අමීන් බී.බී.සී. සංදේශය කෙළෙසයි..!

Spread the love

බී.බී.සී. සංදේශය සිංහල සේවාව කාලයක් තිස්සේ යම් ප්‍රාමාණික තත්වයක් රැකගෙන ක්‍රියාත්මක වූ මාධ්‍ය ආයතනයක් බව එයට පක්ෂ-විපක්ෂ කවුරුත් පාහේ පිළිගන්නවා ඇත. පසුගිය කාලයේ එහි නිවේදකයෙකු ලෙස මතු වූ අසාම් අමීන්ගේ මාධ්‍ය ක්‍රියාකලාපය ගැන යම් අදහසක් සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි.

අසාම් අමීන් නිතර ම සිය සම්මුඛ සාකච්ඡා වෙනුවෙන් සමකාලීන දේශපාලන කතිකාවන්හි සංවාදයට බඳුන්වන කිසිවෙක් සහභාගි කරවා ගනියි. නාමල් රාජපක්ෂ සමඟ ඔහු කළ සම්මුඛ සාකච්ඡාව සලකා බැලුවහොත්, එය නාමල් සම්බන්ධ විවිධ කතා-බහ පොදු සමාජයේ ගොඩ නැගී තිබුණු වකවානුවකි. එහිදී අසාම් සිය නාමල් සමඟ සම්මුඛ සාකච්ඡාව නාමල් රාජපක්ෂගේ වාහනයේ සිට පවා සිදු කළේ ය. නාමල්ට එරෙහිව එවක පැන නැගී තිබූ විවිධ ප්‍රශ්න මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර නාමල් ඒවාට පිළිතුරු දෙන්නට එය මනා අවස්ථාවක් කර ගත්තේ ය. කොටින් ම නාමල්ගේ වාහනයේ පවා මාධ්‍යකරුවන්ට එකට ගමන් කළ හැකි බවත් ඔහු ඉතා දයාන්විතයෙක් බවත් පෙන්වමින් නාමල්ගේ කුණු ටික හෝදාගන්නට එය මනා අවස්ථාවක් වූයේ ය.

සමාජ මාධ්‍යයක් වන ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සජීවීව පවා විකාශය කළ නවතම සම්මුඛ සාකච්ඡාව අසාම් අමීන් මෑතක දී සිදු කළේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුතකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චතුර සේනාරත්න සමඟ ය. චතුර සිය දේශපාලන ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීම සඳහා අතිශය අභව්‍ය බොරු පවසන්නෙකි. (මේ බොරු සහ හිතලු සැලකීමේ දී ඔහු මානසික ආබාධයකින් පෙළෙනාවදැයි සිතෙන තරම් ය.) චතුර සේනාරත්න දේශපාලන ලෝකයේ සවිඥානක මිනිසුන්ට අනුව නම් අඳබාලයෙක් සහ විකටයෙකි. එමෙන් ම පවතින ජරාජීර්ණ විකෘති මැතිවරණ ක්‍රමයේ තරම පෙන්වන කදිම නිදසුනකි.

නමුත් බී.බී.සී.යේ තත්වයන්ට පවා නොගැලපෙන පරිදි අසාම් චතුර සේනාරත්නට සිය කුණු හෝදා ගැනීමට අවස්ථාවක් සලසා දුන්නේ ය. මෙය බී.බී.සී.යට හිතවත් සහ එහි ප්‍රතිමානයන් ගැන දන්නා බොහෝ අයගේ විවේචනයට ලක් ව තිබේ. එවැනි ස්ථානයකට චතුර සේනාරත්න වැනි මිනිසෙක් ගෙන ඒමට කිසිදු සාධාරණ හේතුවක් ඇත්තේ නැත.

අසාම් අමීන් මෙහි ගෙනයන ක්‍රියාකලාපය අහිංසක නොවන්නක් බව පසුව ඔහු විසින් ෆේස්බුක් අවකාශයේ චතුර සේනාරත්නගේ පුවත්පත් ලිපි එකතුව ආදිය ගැන තබා ඇති සටහනෙන් පැහැදිලි වෙයි.

යම් ගුණාත්මක එළැඹුමක් සටහන් කර ඇති බී.බී.සී.ය වැනි නාලිකාවක් හරහා අසාම් අමීන් විසින් ගෙනයනු ලබන මේ කුණු සෝදාලන කූට වෑයම පිළිබඳ සබුද්ධික ජනතාව සැලකිලිමත් විය යුතු බව අවසාන වශයෙන් සටහන් කර තබමු.

උපුටා ගැනීම: නිවහල්.කොම්

RSL

Related Posts