මියගිය සිනමා තරු යළි මෙළොවට රැගෙන එන කෘත්‍රිම බුද්ධිය

Spread the love

රංගන ශිල්පීන්ගෙන් වැඩි දෙනෙකු සිහින මවන්නේ දීර්ඝ කාලයක් ප්‍රේක්ෂක මනසේ රැඳෙන වෘත්තීය තත්ත්වයක් ගොඩනගා ගැනීමට ය. එය වැඩි දෙනෙකුට ළඟා කර ගත නොහැකි අතර, රංගන කර්මාන්තය යනු සාර්ථකත්වයට පත්වීම අතිශය දුෂ්කර ක්ෂේත්‍රයකි. එසේ සාර්ථකත්වයට පත්වන්නන්ට රිදී තිරයේ යම් ආකාරයක අමරණීයත්වයක් ලබා ගත හැකි අතර, එමඟින් ඔවුන්ගේ නාමයන් ආලෝකවත් වීමට ඉඩ සැලසෙයි.

අමෙරිකානු සිනමා නළු ජේම්ස් ඩීන් එවැනි දැවැන්තයෙකි. 1955 වසරේ දී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඔහු චිත්‍රපට තුනකට පමණක් රංගනයෙන් දායක වී අතිශය ගෞරවයට පාත්‍ර වූවෙකි. ඔහු මියගොස් දශක හතකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද, නව සිනමා කෘතියක් වන Back to Eden නමැති චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවයි.

කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් නිර්මාණය කරන ලද එම රංගන ශිල්පියාගේ ඩිජිටල් ක්ලෝනය, චිත්‍රපටයේ සෙසු නළු නිළියන් සමග ඇවිද යයි, කතා කරයි. එමෙන් ම, ඔවුන් සමග රංගනයේ යෙදෙයි.

හොලිවුඩ් පරිගණක ආශ්‍රිතව නිර්මිත දර්ශන (CGI) තාක්ෂණික වශයෙන් අතිශයින් උසස් මට්ටමක පවතියි. එහෙත්, වසර 43කට පසු පළමු වරට හොලිවුඩයේ වැඩ වර්ජනයකට එක්වූ නළු නිළියන් සහ තිර රචකයන් විසින් මතු කරන ලද ඇතැම් කරුණුවල මූලය ද එය වේ. ලාභය වෙනුවෙන් නිර්මාණශීලීත්වය වෙනුවට කෘත්‍රිම බුද්ධිය ආදේශ කර ගනු ඇතැ යි බියට පත්ව සිටින බවට ඔවුන් තර්ක කරයි. රංගන ශිල්පිනී සූසන් සැරන්ඩන් ද මේ ගැටළු පිළිබඳව කතා කළ අය අතර සිටියි. ඇය කෘත්‍රිම බුද්ධිය විසින් “මට තෝරාගත නොහැකි දේ කීමට සහ කිරීමට” බල කරනු ඇති බවට අනතුරු අඟවයි.

උසස් ඩිජිටල් තාක්‍ෂණයේ සහ හොලිවුඩ් ‌ඓන්ද්‍රජාලික යෙදවීම් හරහා මියගිය නළුවන් තිරය මත නැවත පණ ගැන්වූ පළමු අවස්ථාව ඩීන්ගේ ඩිජිටල් පුනර්ජීවනය නොවේ. කැරී ෆිෂර්, හැරල්ඩ් රමිස් සහ පෝල් වෝකර් යනු මරණින් පසු ප්‍රසිද්ධ චිත්‍රපට චරිත නිරූපණය කළ කැපී පෙනෙන කීර්තිමත් පුද්ගලයින් අතරින් කිහිප දෙනෙකු පමණි. බ්‍රසීලියානු ගායිකා එලිස් රෙජිනා ද මෑතකදී මෝටර් රථ වෙළඳ දැන්වීමක් සඳහා පුනර්ජීවනය ලැබූ අතර, එහිදී ඇය ඇගේ දියණිය මාරියා රීටා සමග යුග ගායනයක නිරත වනු පෙන්වන ලදී. ඔවුන්ගේ තිරයේ පෙනී සිටීම, WorldwideXR (WXR)හි ප්‍රධාන විධායක ට්‍රැවිස් ක්ලොයිඩ් පැහැදිලි කරන පරිදි ඩීප්ෆේක්වලට සමාන “ප්‍රතිචාර නොදක්වන පැතලි තිර, ද්විමාන” නිරූපණයක් පෙන්වයි.

ඩීන්ගේ ඩිජිටල් ක්ලෝනය චිත්‍රපටයක් සඳහා යොදාගත් දෙවන අවස්ථාව මෙය යි. 2019 වසරේ දී ඔහු Finding Jack නමැති චිත්‍රපටයක් සඳහා CGI තාක්ෂණය මඟින් පුනර්ජීවනය කරන බව නිවේදනය කරන ලද නමුත් පසුව එය අවලංගු කරන ලදී. කෙසේ වෙතත්, ක්ලොයිඩ් බීබීසී වෙත තහවුරු කළේ, ඩීන් ඒ වෙනුවට “බැක් ටු ඊඩ්න්” නමැති විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ රඟපානු ඇති බව ත්, එහි “එලොව සිට සත්‍ය සෙවීමට ජේම්ස් ඩීන් සමග අමෙරිකාව හරහා කරන සංචාරයක් අන්තර්ගත වන,” බව ත් ය.

ඩීන්ගේ ඩිජිටල් ක්ලෝනකරණය ද, සිදුවිය හැකි දේ සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනසක් නියෝජනය කරයි. ඔහුගේ AI අනුරුවට (avatar) Back to Eden සහ පසුව එන චිත්‍රපට මාලාවක පැතලි තිර භූමිකාවක් රඟ දැක්වීමට හැකියාව තිබෙනු ඇතිවා පමණක් නොව, පරිගණක නිර්මිත යථාර්ථය, අතථ්‍ය යථාර්ථය සහ පරිගණක ක්‍රීඩා ඇතුළු අන්තර්ක්‍රියාකාරී අවකාශයන්හි ප්‍රේක්ෂකයින් සමග සම්බන්ධ වීමට ද හැකි වනු ඇත. මේ තාක්‍ෂණය, ඩිජිටල් ප්‍රතිනිර්මාණයට හෝ වෙනත් කෙනෙකුගේ ශරීරයට වෙනත් පුද්ගලයෙකුගේ මුහුණ ආදේශ කරන ඩීප්ෆේක් තාක්‍ෂණයෙන් ඔබ්බට යයි. එය, වෙනත් වෘත්තියකින් ගත නොහැකි අමරණීයභාවයක් රංගන ශිල්පීන්ගේ ජීවිතය අවසන් වී බොහෝ කලකට පසුව වුව ද අත්කර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් රංගන ශිල්පීන් තුළ අපේක්ෂා වර්ධනය කරයි.

එහෙත්, ඉන් දුෂ්කර ප්‍රශ්න කිහිපයක් ද මතු වෙයි. යමෙකු මියගිය පසු ඔහුගේ මුහුණ, කටහඬ සහ ඔහු ජීවත්ව සිටියදී ගොඩනගා ගත් පෞරුෂත්වයේ අයිතිය හිමි වන්නේ කාට ද? මරණයෙන් පසු ඔවුන්ගේ වෘත්තියේ දිශානතිය සම්බන්ධයෙන් ඔවුන් සතුව තිබිය හැකි පාලනය කුමක් ද? යථාර්ථවාදී කතා පුවත් සහිත නාට්‍යවල රඟපෑ නළුවෙකු මියගිය පසු එක්වර ම හුදු හාස්‍යෝත්පාදක නාට්‍යවල හෝ කාමුක දර්ශනවල පවා පෙනී සිටීමට සැලැස්විය හැකි ද? වෙළෙඳ දැන්වීම්වල නොමිලේ සන්නාම ප්‍රවර්ධනය සඳහා ඒවා භාවිත කළ හැකි නම් කුමක් කළ යුතු ද?

එසේ නම්, මේ කීර්තිමත් පුද්ගලයින්ට සමාදානයේ සැතපීමට ඉඩ නොදෙන්නේ ඇයි?

කුඩා කාලයේ ඉලිනොඒ ප්‍රාන්තයේ පිහිටි ගොවිපළක ඩීන් සමග සිටි, ඩීන්ට ‘ජිමී’ යන සුරතල් නාමයෙන් අමතන ඔහුගේ ඥාති සොයුරෙකු වන මාර්ක් වින්ස්ලෝ විශ්වාස කරන්නේ, ඔහුගේ ඥාති සොහොයුරා වෙත ඇති දැඩි ආකර්ෂණය පරම්පරාවන් ඉක්මවා යන හෙයින්, ඔහු නූතන සිනමාවේ ප්‍රධාන භූමිකාවක් සඳහා ආකර්ෂණීය තේරීමක් බවට පත්ව ඇති බව ය. “තිරයේ තවත් පුද්ගලයින් දෙතුන් දෙනෙක් හිටිය ත්, කෙලින් ම ඔබේ ඇහැ යන්නේ ඔහු වෙතට,” ඔහු පවසයි. “ඔවුන් වෙනුවට ආදේශ කරන්න කිසි ම කෙනෙකුට පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නෑ. ඒත්, ඒ දේ පණ තියෙන ආකාරයට තිරය මතට ගේන්න පුළුවන්.”

ඩිජිටල් ක්ලෝන

ඩීන්ගේ රූපය, ඇමිලීයා ඉයර්හාර්ට්, බෙටී පේජ්, මැල්කම් එක්ස් සහ රෝසා පාර්ක්ස් ඇතුළුව, WRX සහ එහි සහෝදර බලපත්‍ර සමාගම වන CMG වර්ල්ඩ්වයිඩ් යන සමාගම් විසින් නිර්මාණය කරන ලද රූප සිය ගණනක් අතරින් එකකි. වසර 68කට පෙර ඩීන් මියගිය පසු, WRX සමාගමේ ක්ලොයිඩ් “මූලාශ්‍ර ද්‍රව්‍ය” ලෙස හඳුන්වන ඔහුගේ ගති පැවතුම් ඇතුළත් විශාල එකතුවක් චිත්‍රපටවල, ඡායාරූපවල සහ හඬපටවල ඉතිරි විය. ක්ලොයිඩ් පවසන්නේ, ඩීන්ගේ ඡායාරූප තුළින් යථාර්ථවාදී නිරූපණයක් ලබා ගැනීම සඳහා, ගණනය කළ නොහැකි තරම් රූප සංඛ්‍යාවක් ස්කෑන් කර, ඉහළ ගුණාත්මකභාවයක් දක්වා සුසර කර, උසස් තාක්ෂණය භාවිත කරමින් ඩිජිටල් විශේෂඥයින් කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලබන බව ය. හඬ, රූපරාමු සහ කෘත්‍රිම බුද්ධිය එකතු කිරීමෙන්, මෙම කොටස් ඩීන් ලෙස කතා කරන, චලනය වන සහ ප්‍රතිචාර දක්වන ඩිජිටල් ක්ලෝනය ගොඩනැගෙන කොටස් බවට පත්වේ.

සමාජ මාධ්‍යවල නියැළෙන, පෞද්ගලික සෙල්ෆි ඡායාරූප ගන්නා, කෙටි පණිවුඩ සහ ඊමේල් යවන, සෙවුම් යාන්ත්‍රණ භාවිත කරන, සිල්ලර බඩු සඳහා ඉන්ටර්නෙට් හරහා භාණ්ඩ මිල දී ගන්නා සහ මාර්ගගත වෛද්‍ය ඖෂධ වට්ටෝරු මිල දී ගන්නා වර්තමාන ජනප්‍රිය පුද්ගලයින් මෙන් නොව, ඩීන් ඉතිරි නොකළ දෙයක් වන්නේ ඩිජිටල් මතක සටහන් ය. මෙම ක්‍රියාකාරකම්, අප සිතන සහ ක්‍රියා කරන ආකාරය පිළිබඳ විශාල දත්ත සංඛ්‍යාවක් සපයන අතර, එය හුදෙක් මතුපිටින් පෙනෙන නිවුන්නෙකුගේ සිට ජීවතුන් අතර සිටින බව ඒත්තු ගැන්විය හැකි පරිදි සංවාද කළ හැකි බුද්ධිමත් පුද්ගලයෙකු දක්වා ඩිජිටල් ක්ලෝනයක් දියුණු කිරීමට භාවිත කළ හැකි ය.

සොහොනෙන් එපිට සිට ජීවතුන් අතර සිටින්නන් සමග කතාබස් කරන “ඩෙඩ්බොට්” නිර්මාණය කිරීම සඳහා මියගිය ආදරණීයයෙකුගේ ඩිජිටල් දත්ත උඩුගත කිරීමට පරිශීලකයින්ට අවසර දෙන සමාගම් පවා දැන් බිහිවී තිබේ. වැඩි මූලාශ්‍ර ද්‍රව්‍ය සහිත, වඩා ත් නිවැරදි හා බුද්ධිමත් ඩෙඩ්බොට් යනු නිර්මාණය වීම යනු, නූතනයේ කීර්තිමත් පුද්ගලයකුගේ වත්කමේ උරුමක්කාරයෙකුට චිත්‍රපට කර්මාන්තයේ අඛණ්ඩව වැඩ කිරීමට සහ තරමක් ස්වයංක්‍රීයව දායකවීමට මියගිය සිනමා තාරකාවක යථාර්ථවාදී ක්ලෝනයකට ඉඩ සැලසිය හැකි වීම ය.

Adam Buxton Podcast වෙත අදහස් දක්වමින් රංගන ශිල්පී ටොම් හෑන්ක්ස් මෑතකදී පුරෝකථනය කළේ, ඔහුගේ ආයු කාලය හමාර වීමෙන් පසුව ද හොඳින් වැඩ කළ හැකි බව ය. “මම හෙට බස් එකක හැප්පෙන්න පුළුවන්, එතනින් මම ඉවරයි. ඒත් මගේ රංගන කටයුතු දිගට ම කරගෙන යන්න පුළුවන්.”

මියගිය අය නිසා රැකියා අහිමි වන නළු නිළියෝ

ඩිජිටල් මානව පුනර්ජීවනයේ මීළඟ අදියර හරහා කීර්තිමත් පුද්ගලයින්ට සහ එදිනෙදා පුරවැසියන්ට සදාචාරාත්මක, නීතිමය සහ ප්‍රායෝගික ගැටලු නිර්මාණය වනු ඇතැයි බියෙන් සිටින නළු නිළියන්ට හෑන්ක්ස්ගේ ප්‍රකාශය සැබෑ ගැටළුවක් මතු කරන්නකි. විශේෂයෙන් ම හඬ නළුවෝ, රංගන සංසද හරහා නළුවන්ගේ අයිතිවාසිකම් සහ වෘත්තීන් ආරක්ෂා කිරීමට ඒකාබද්ධ පෙරමුණක් පිහිටුවීම සඳහා සංවාදයක් මෙහෙයවති‍.

“මිකී මවුස්, පෝර්කි පිග්, ස්නෝ වයිට් වගේ චරිතවලට හඬ දුන්න අය මියගියාම ඒ හඬ ලබා ගන්න අලුත් නළුවෙක් ගන්නවා,” අමෙරිකාවේ හඬ නළුවන්ගේ ජාතික සංගමයේ සභාපති ටිම් ෆ්‍රයිඩ්ලෑන්ඩර් පවසයි. “ඒත්, සදහට ම මෙල් බ්ලෑන්ක් (ලූනි ටියුන්ස් කාටූන් චරිත රැසකට ජීවය දුන් හඬ නළුවා) පාවිච්චි කරන්න පුළුවන් වුණොත් මොකක් වෙයි ද?”

මෙම තත්ත්වය ඇති වීම ආසන්න බවට ත්, ඩිජිටල් භාවිතයෙන් පුනරුත්පත්තිය ලබන හඬ නළුවන් හඬ කැවීම් කර්මාන්තය ඒකාධිපතිත්වයට නතුකර ගනු ඇති බවට ත්, ජීවමාන නළුවන්ට රැකියා අහිමි වනු ඇති බවට ත් ෆ්‍රයිඩ්ලෑන්ඩර් සහ ඔහුගේ හඬ නළු සගයෝ බියට පත්ව සිටිති. “මැරුණ හඬ නළුවන් නිසා ජීවත් වෙලා ඉන්න කිසි ම හඬ නළුවෙකුට අවස්ථාවක් නෑ. මොක ද, බග්ස් බනී, පෝර්කි පිග් වගේ කාටූන් චරිතවල (ලූනි ටියුන්ස් චරිත) හඬ නළුවා ඔහු නිසා.”

රංගන අවස්ථා අඩුවීමේ සම්භාවිතාවක් පැවතිය හැකි බව ක්ලොයිඩ් පිළිගත්ත ද, ඔහු දරන්නේ, මියගිය රංගන ශිල්පීන් රැකියාවේ නියුක්ත කිරීම “අර්ධ වශයෙන් සුබවාදී කාර්යයක්” යන අදහස ය. “සියල්ල අවසානයේ රැකියා ගොඩක් නිර්මාණය වේවි,” ඔහු එසේ පවසන්නේ, තාක්ෂණය හරහා සිනමා කර්මාන්තමය සහ කාර්මික වශයෙන් රැකියා උත්පාදනය වෙනු ඇති බව පෙන්වා දෙමිනි. “ඒ නිසා එය එක් කෙනෙකුගේ චරිතයක් හෝ රැකියාව අහිමි කළ හැකි වුණ ත්, ඒත් එක්ක ම, ඊට වඩා ඉහළ මට්ටමකින් කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් මෙය කිරීමට අදාළව රැකියා සිය ගණනක් නිර්මාණය වෙනවා.”

මළවුන්ගේ අයිතිවාසිකම්

මළවුන් – හෝ ඒ වෙනුවට, ඔවුන්ගේ ඩිජිටල් ක්ලෝන – සදාකාලිකව වැඩ කරන්නේ නම්, එම වැඩ කිරීමෙන් ලබන මූල්‍යමය ප්‍රතිලාභ ලබන්නේ කවුද? එමෙන් ම, මළවුන්ට අයිතිවාසිකම් තිබේ ද?

සරලව පැවසුවහොත්, ඊට අදාළ නීති ප්‍රශ්නසහගත වන අතර, ලෝකයේ සමහර කලාපවල නීති නොපවතියි.

අමෙරිකානු නීතිඥ සංගමය විසින් පළ කරනු ලබන Landslide සඟරාවට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ප්‍රචාරණ අයිතිය පිළිබඳ ලිපියක් සම්පාදනය කරමින් එහි සම-කර්තෘ නීතිඥ එරික් කාන් පවසන්නේ, එක්සත් ජනපදයේ සෑම ප්‍රාන්තයක ම එකිනෙකට වෙනස් තත්ත්වයක් පවතින බව ය. ඇතැම් ප්‍රාන්තවලට මියගිය ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කැමැත්ත ආරක්ෂා කිරීමට පැහැදිලි බුද්ධිමය දේපළ නීති යටතේ කීර්ති නාමය අවභාවිත කිරීමට එරෙහිව ක්‍රියාත්මක විය හැකි අයිතිවාසිකම් නැත.

සාමාන්‍යයෙන්, ප්‍රසිද්ධ පුද්ගලයෙකු මියගිය පසු, ඔහුගේ “කීර්තියේ අයිතිය” එම පුද්ගලයාගේ සමීපතම ඥාතීන්ට හෝ කැමැත්තෙන් එම අයිතිවාසිකම් පැවරූ පාර්ශවයකට හිමිවේ. එහෙත්, කාන් පවසන්නේ, සාමාන්‍යයෙන් මියගිය කීර්තිමත් පුද්ගලයාගේ ප්‍රතිරූපය සහ සමානතා වාණිජමය වශයෙන් භාවිත කිරීමෙන් මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ කාට ද යන්න අවසන් කැමැත්තකින් නියම කෙරුණ ද, “ඒක කොන්ත්‍රාත්තුවක් වගේ නොවෙන නිසා ඒක පාර්ශවීය ලියවිල්ලක්” බැවින් ඊට ඇත්තේ සීමිත නීතිමය බරක් බව ය. එම පුද්ගලයාගේ රූපය භාවිත කරන ආකාරය පිළිබඳ බලය ඔවුන්ගේ ජීවමාන උරුමක්කාරයා වෙත පැවරෙයි. රොබින් විලියම්ස් වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුට මරණයෙන් පසු ඔවුන්ගේ සමානතා යොදා ගැනීම සීමා කිරීමට අවසන් කැමැත්ත භාවිත කළ හැකි වූ නමුත් එම සීමාව වසර 25කට පසු අවසන් වේ.

කෙසේ වෙත ත්, කීර්තිමත් පුද්ගලයින් යම් යම් ආකාරයේ අපකීර්තියට පත්වීම්වලින් ආරක්ෂා වීමට අමතර ප්‍රතිලාභ ලබන බව කාන් පවසයි. නිදසුනක් වශයෙන්, මැරිලින් මොන්රෝගේ රූපය සහ ලක්ෂණ භාවිත කිරීම ඇගේ උරුමකරුවන් අනුමත නොකළහොත්, ඇගේ රූපය මරණින් පසු කාමුක චිත්‍රපටයක සේවයේ යෙදවිය නොහැකි ය. ප්‍රාන්තය මත පදනම්ව, මොන්රෝගේ උරුමකරුවන් හිමිකම් උල්ලංඝණය කර ඇති බවට තර්ක කළ හැකි ය. ඇගේ සැබෑ කීර්තිය පිළිබිඹු නොකරන අසත්‍ය ප්‍රකාශවලින් ඇය අපකීර්තියට පත් වී ඇති අතර, හානිකර ආලෝකයකින් ඇයව නිරූපණය කිරීම “අනාගත ව්‍යාපාරික වාසියට බාධාවක්” විය හැකි ය. මීට අමතරව, ෆෙඩ්රල් ලැන්හැම් පනත මියගිය ප්‍රසිද්ධ පුද්ගලයින් ව්‍යාජ හෝ නොමඟ යවනසුලු වෙළෙඳ දැන්වීම්වලට භාවිතා කිරීමෙන් සහ වෙළෙඳනාම අයිතිවාසිකම් උල්ලංඝණයෙන් ආරක්ෂා කරන අතිරේක ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියා කරයි.

“ප්‍රචාරණයේ අයිතිය” යන්නට වඩා ත් සවිස්තරාත්මක අර්ථ නිරූපණය කර ඇත්තේ නිව් යෝර්ක් ප්‍රාන්තය බවට සැලකෙන අතර, ඉන් මියගිය පුද්ගලයින් වාණිජමය වශයෙන් සූරාකෑම සහ ඔවුන්ගේ පෞද්ගලික චරිත ලක්ෂණ අනවසරයෙන් භාවිත කිරීම ආදිය වළක්වයි. එහෙත්, දැඩි රෙගුලාසි ඇතැයි පෙනී යන ප්‍රාන්තවල පවා, ප්‍රචාරණ අයිතිය මඟින් ඇත්ත වශයෙන් ම ආරක්ෂා කරන්නේ මියගිය පුද්ගලයාගේ බූදලය මිස මියගිය පුද්ගලයා නොවේ.

“ඔබේ පවුලේ සාමාජිකයින්ට ඔබ විකිණීමට අවශ්‍ය නම්, සහ ඔබ මියගොස් සිටියි නම්, ඔබට ලොකු දෙයක් කරන්න බැහැ,” කාන් සමග ආන්දෝලනාත්මක නීති ලේඛනයේ සම-කර්තෘත්වය දැරූ පෞ අයි “බොනී” ලී පවසයි. මෙයින් අදහස් කරන්නේ, උදාහරණයක් ලෙස, මැරිලින් මොන්රෝගේ බූදලයේ හිමිකරුවන් ඇගේ රූපය සහ ඇගේ ලක්ෂණ භාවිත කිරීමට අවසර දෙන්නේ නම්, ඇගේ රූපය නීත්‍යනුකූලව කාමුක චිත්‍රපටයකට යෙදවිය හැකි බව ය. “බූදලය හිමිකරුවන් ඒක කරන්න අවශ්‍ය බව කියනවා නම් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒත් මට හිතෙන්නේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා,” ලී පවසයි.

පෞද්ගලික භාවිතය සහ අප්‍රසිද්ධ පුද්ගලයන්

මියගිය ප්‍රසිද්ධ පුද්ගලයින්ට ඔවුන්ගේ ප්‍රතිරූපය සහ සමානත්වය වාණිජමය වශයෙන් සූරාකෑමට එරෙහිව නිශ්චිත අධිකරණ බල සීමාවන් තුළ යම් නිශ්චිත නොවන ආරක්ෂාවක් ඇති නමුත්, සාමාන්‍ය පුරවැසියන්ට මරණින් පසු ඔවුන්ගේ සමානත්වය සහ ඩිජිටල් උරුමය භාවිත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඇත්තේ ඉතා දුර්වල පාලනයකි. පෞද්ගලික භාවිතය සඳහා මියගිය පුද්ගලයින් ඩිජිටල්කරණය හරහා නැවත පණ ගැන්වීම වැළැක්වීමට අමෙරිකාව තුළ සුළු නීති පවතියි. ඔබ මියගිය විට, ඩෙඩ්බොට් එකක් හෝ අන්තර්ක්‍රියාකාරී AI අනුරුවක් සැකසීමට ඕනෑ ම කෙනෙකුට ඔබේ පොදු ඩිජිටල් තොරතුරු AI මෘදුකාංගයට උඩුගත කළ හැකි ය. නිව් යෝර්ක් වැනි වඩාත් විස්තීරණ පශ්චාත්-මරණ ආරක්‍ෂාව ඇති ප්‍රාන්ත අයහපත් අරමුණු සඳහා ඇතැම් පුද්ගලයන්ගේ අනන්‍යතා භාවිත කිරීම තහනම් කර ඇතත්, මෙම ආරක්‍ෂාව ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න ගැන ලී සැක පළ කරයි. “අවසානයේ කවුරු හරි ඒක බලාත්මක කළ යුතු යි,” ඇය පවසයි.

මියගිය ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ සහ සෙසු අයගේ අයිතිවාසිකම් සහ සැමරුම් ආරක්ෂා කිරීම සඳහා ඉක්මනින් ම නීති සම්පාදනය කළ යුතු බව ක්ලොයිඩ්, ෆ්රයිඩ්ලෑන්ඩර් සහ කාන් යන තිදෙනාගේ ම අදහස යි. තාක්‍ෂණය සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින අතර, මියගිය පුද්ගලයින්ගේ ඩිජිටල් නිරූපණය පිළිබඳ සදාචාරාත්මකභාවය සම්බන්ධයෙන් දැනටමත් විවාද වර්ධනය වෙමින් තිබේ. මියගිය පුද්ගලයින් ඩිජිටල්කරණයෙන් පණ ගන්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව මුල දී “මඳ කනස්සල්ලකින්” සිටි බව ක්ලොයිඩ් පිළිගන්නා අතර, එහෙත්, මෙම කාරණය සමග කටයුතු කිරීමේදී WXR සමාගම ක්‍රියාශීලීව සහ සංවේදීව ක්‍රියා කරන බව ඔහු විශ්වාස කරයි.

ෆ්‍රයිඩ්ලෑන්ඩර් ද රැකියා අහිමි වන හඬ නළුවන් වෙනුවෙන් ක්‍රියාකාරී ලෙස නීතිමය උපදෙස් ලබා දෙයි. හඬ නළුවන්ගේ ජාතික සංගමයේ (Nava) කාර්යය ලොව පුරා රංගන ශිල්පීන්ගේ සංගම් සංවිධානය කිරීමට සහ සාධාරණ අවස්ථා වෙනුවෙන් පෙනී සිටීමට උපකාරී වනු ඇතැ යි ඔහු අපේක්ෂා කරයි.

වින්ස්ලෝගේ සිද්ධිය ගත්කල, ඔහුගේ ඥාති සොයුරා ඩිජිටල් ලෙස නැවත පණ ගන්වනු දැකීම ගැන මිශ්‍ර හැඟීම් ඇති බව ඔහු පිළිගනියි. “මම දන්නෙ නෑ ඒ ගැන මොනවා හිතන්න ද කියලා,” ඔහු පවසයි. “ඔහු ගෞරවයට පත්වනු දැකීම තමයි මට අවශ්‍ය. එයා ඇත්තට ම රංගනයට යොමු වී හිටියා. ඒක කැපවීමෙන් කළා. මට අවශ්‍ය ඒ ප්‍රතිරූපය ම නැවත ඇති කරන්න යි.”

උපුටා ගැනීම BBC

RSL

Related Posts