මංගලගේ මොංගල් වැඩේට අර්ජුන කනේ පහර දුන් හැටි

Spread the love

මුදල් අමාත්‍යාංශය මඟින් හදිසියේ ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කළද පෙර පැවැති මිල ගණන්වලට පමණක් ඉන්ධන නිකුත් කරන ලෙසට දන්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලු සිපෙට්කෝ බෙදුම්හල්කරුවන් වෙත චක්‍රලේඛයක් නිකුත් කිරීමට පෙරේදා (06දා) පියවර ගෙන තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහත්වරුන්ගේ උපදෙස්වලට අනුව බවද තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

චක්‍රලේඛ අංක 995 යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශයේ වැඩබලන කළමනාකරු ඩබ්ලිව්.ඩී.එල්.සී. අබේගුණවර්ධන මහතා විසින් ප්‍රාදේශීය කළමනාකරුවන් මාර්ගයෙන් සියලු බෙදුම්කරුවන් වෙත දැනුම් දී ඇත.

සංස්ථාව මඟින් අස්සන් තබා ඇති බෙදුම්කාරත්ව ධුර ගිවිසුම්පත අනුව සංස්ථාවේ ලිඛිත අවසරයකින් තොරව බෙදුම්පොළෙහි මිල ගණන් සංශෝධය කළ නොහැකි බවටද එම ලිඛිත දැනුම් දීමෙහි සඳහන් කර තිබේ.

තවද මාධ්‍ය ආයතනවල පළවන පුවත් පදනම් කර ගනිමින් ඉන්ධන පිරවුම් පොළෙහි ඉන්ධන මිල ගණන් වෙනස් කිරීම කිසිසේත් සිදු නොකළ යුතු බවද එවැනි ක්‍රියා සිදු කළහොත් එය බෙදුම්කාර ගිවිසුම බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවද එම ලිපියෙහි සඳහන්ය.

නැවත සිහි කැඳවීමක් ලෙස මේ බව දැනුම් දුන් බවත් ඊට අනුගතව කටයුතු කරන ලෙසටද අදාළ ලිපිය මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය බෙදුම්කරුවන් මෙලෙස දැනුවත් කර ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අස්සනින් යුතුව ඉකුත් 05 වැනි දින ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයාට දැනුම් දී තිබෙන්නේ එදින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් වැඩි කරන ලෙසටය.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 8කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 7ක්ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 9කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින්ද මුදල් අමාත්‍යාංශය මඟින් මිල වැඩි කර තිබිණි.

මුදල් අමාත්‍යාංශය කළ දැනුම්දීම නොපිළිගත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ඉන්ධන මිල වැඩි කිරීමට අදාළ චක්‍රලේඛය බෙදුම්හල්කරුවන් වෙත නිකුත් නොකිරීමටද කටයුතු කර තිබේ.
නමුත් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය පළ කළ වාර්තා සැලකිල්ලට ගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති ඉන්ධනහල් බහුතරයක් වැඩි වූ බවට සඳහන් මිල ගණන්වලට ඉකුත් 05 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයිද සඳහන් වේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පෙර පැවැති මිල ගණන්වලට ඉන්ධන නිකුත් කරන ලෙසට තෙල් සංස්ථාව සිය බෙදුම්කරුවන් වෙත මෙලෙස දන්වා තිබේ.

එසේම අවසන්වරට ඉන්ධන මිල වැඩි වූයේ ඉකුත් මැයි මස 10 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිටය. ඒ අනුව මේ වන විට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 137ටත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 148ටත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 109ටත් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 119ටත් අලෙවි කරනු ලබයි.

කෙසේ වෙතත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශය විසින් ඉකුත් 05 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කළ මිල ගණන්වලට ඉන්ධන අලෙවි කරන බවයි.

මේ අතර තෙල් මිල පිළිබඳ තීරණය ඊළඟ කැබිනට් රැස්වීමේදී ගන්නා බව මුදල් අමාත්‍යාංශය සිකුරාදා (06) පස්වරුවේ තීරණය කර තිබිණි.

RSL

Related Posts