මේ බොරුවට ඔබත් හසුවුණාද..?

Spread the love

සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි.

සූර්යබල සංග්‍රාමය සම්පූරණ වැඩසටහන සැලකුවහොත් මෙගාවොටේ 01 බැගින් වන බලාගාර වලින් විදුලිය මිලදී ගැනීම එක් ඒකකයකට රු. 16.00 පමණ වෙනවා. මෙගාවොට් 10 වගේ බලාගාරයන්ගෙන් විදුලිය මිලදී ගන්නේ රු. 11.82 ක පමණ සිට රු 12.50 දක්වා වූ මිලකටයි. විශාල පරිමාණ සූර්ය උද්‍යාන ඉදිකිරීමෙදී මෙම මිලගනන් තවත් අඩුවේවි. මෙම ව්‍යාපෘතියේදී පළමු අදියරේ රු. 22.0ක් එක ඒකකයකට ගෙවීමෙන් රජය බලාපොරොත්තු වුණේ මේ රටේ විදුල පාරිභෝගිකයාට තම පියසි මත සූර්ය විදුලි ජනන පද්ධති සවි කරලා එමගින් ආදායමක් ලබා ගැනීම. ඒ වගේම පරිසර හිතකාමි ජනන ප්‍රභවයන් පද්ධතියට එක් කරගැනීම. පසුගිය දින කිහිපය තුල විද්‍යුත්, මුද්‍රිත මෙන්ම විවධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සෙ සූර්යබල සංග්‍රාමය පිළබද විවිධ අසත්‍ය ප්‍රචාරයන් සමාජගත කිරීමට විවිධ පාර්ශවයන් විසින් උත්සායක් ගන්නවා. විශේෂයෙන් මෙම තත්ත්වය හමුවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය හැටියට මේ රටේ විදුලි පාරිභෝගිකයන් මෙ සම්බන්ධව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මත තමයි මේ නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කරන්නේ. සූර්යබල සංග්‍රාමය අපි ක්‍රියාත්මක කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින්. එහි යම් වෙනස්කමක් ඇතිකිීමටනම්, නැවත වරක් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබාගත යුතුයි. මේ වනතෙක් මෙම ව්‍යාපෘතියේ කිසිදු වෙනසක් සිදුකර නැහැ. ලංකා විදුලිබල මණ්ඩලය මගින් පත්කරනු ලබූ කමිටුවේ වාර්තාව මේ වනතෙක් ලැබී නැහැ. විවධ පාර්ශවයන් විසින් මේ දිනවල මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාරයන් පතුරුවා හැරීමට කටයුතු කරනවා අපි සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට තීරණය කරලා කියලා. නමුත් මෙය සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක් යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි.

සුලක්ෂණ ජයවර්ධන මහතා මෙම අදහස් පලකළේ, මේ සම්බන්ධව විවිධ පාර්ශව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මේ වන විට ගෙනයන අසත්‍ය මතවාද පිළිබදව ජනතාව නිවැරදි ලෙස දැනුවත් කිරිම වෙනුවෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවර්ධන මහතා ..,

සූර්යබල සංග්‍රාමය වැඩසටහන සම්බන්ධව ගත්තොත් මෙය අදියර 04 කින් සමන්විතයි. ඒ යටතේ රටේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට, විදුලිබල සංවර්ධනයට සූර්ය බලය උපයෝගී කරගැනීමට ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. මෙහි පළමු අදියර යටතේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම නිවාස පියසි මත සූර්යබල විදුලි ජනන පද්ධති සම්බන්ධ කරගෙන විදුලි ජනනයට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙහිදී නෙට් මීටරින්, නෙට් ප්ලස්, නෙට් එකවුන්ටින් යන ක්‍රමවේදයන් වලින් තමා කැමති ක්‍රමවේදකට විදුලිය නිෂ්පාදනය කරලා ජාතික පද්ධතියට ලබාදෙන්න.

2016 මෙම වැඩසටහන හදුන්වාදීමෙදී අපි සැලසුම් කළේ 2020 වනවිට මෙගාවොට් 200 ක් මෙමගින් ජාතික පද්ධතියට එක් කිරීමටයි. අපි මේ වනවිට ඒ ඉලක්කයට ලගාවෙමින් සිටිනවා. 2025 වනවිට තවත් මෙගාවොට් 800 ක් පද්ධතියට ලබාගනිමින් මෙගාවොට් 1000 දක්වා සූර්යබල සංග්‍රාමය අපි දියත් කරන්න සැලසුම කරලා තිබෙනවා. මේ තත්ත්වය යටතේ රජය විසින් විවධ වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. විශේයෙන් ආසියානු සංවර්ධන බැංකුව යටතේ ණය ආධාර ලබාදීම, සූර්යබල විදුලිය ලබාදෙන ආයතන වල , උපකරණ වල ගුණාත්මක භාවය ආරක්ෂා කරීමට කටයුතු කිරීමට නීති රෙගුලාසි ඇතිකිරීම ආදි විවිධ කාර්යයන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම තත්ත්වයන් යටතේ අපි බලාපොරාත්තු වන්නේ සූර්යබල සංග්‍රාමය පළමු අදියර සාර්ථක කර ගැනීමටයි. දෙවන අදියර යටතේ මෙගාවොට් 01 බැගින් වන ව්‍යාපෘති 300 ක් පද්ධතියට එකතු කිරීම වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිනී සිදුකරලා මේ වනවිට මෙගාවොට් 126 කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් ටෙන්ඩර් පිරිනැමීම සිදු කරලා තිබෙනවා.

ඒ වගේම තවත් මෙගාවොට 150 ධාරිතාවයක් පද්ධතියට ලබාගැනී සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින් තරගකාරි මිලගනන් කැදවලා අවශ්‍යකරන ක්‍රමවේද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම තුන්වන අදයර යටතේ මෙගාවොට් 10 බැගින් වූ බලාගාර 05 ක් පද්ධතියට එක් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඒ වගේම හතරවන අධියර යටතේ විශාල සූර්යබල උද්‍යාන ඉදිකිරීමට පියවර ගන්නවා. මේසදහා පුනරීන්, සියඹලාණ්ඩුව වැනි ප්‍රදේශ පාදක කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ජලාශ මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිීමත් මේ යටතේ සිදුවෙනවා. මේ සදහා මාදුරුඔය තෝරාගෙන තිබෙනවා.

සූර්යබල සංග්‍රාමය පළමු අදියර යටතේ නිවාස වහල මත සවිකරන සූර්ය විදුලි පද්ධති වෙනුවෙන් මුල් අවුරුදු 07 තුළ රු. 22.00 වැනි මුදලක් එක් ඒකකයකට ගෙවනු ලබනවා. ඊලග අවුරුදු 8 – 20 දක්වා කාලයට රු. 15.50 ක අගයක් ගෙවම් සිදු කරනවා. අපි මුලින්ම මෙම ව්‍යාපෘති ආරම්භයේදීම සම්මුතියක් ඇති කරගත්තා, මුල් මෙගාවොට් 100 ජාතික පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ අඩුපාඩුකම්, ප්‍රගතිය ආදිය පිළබදව සමාලෝචනයක් සිදුකළයුතුයි කියලා. නමුත් මෙගාවොට් 100 ක් එක්කිරීමෙන් අනතරුව මෙම සමාලෝචනය සිදුකළේ නැහැ. මෙගාවොට් 200 ක් පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව මෙය සිදුකිරීමටයි රජය තීරණය කරලා තිබුණේ. ඒ අනුව මේ සමාලෝචන සිදුකිරීමේදී අපට පෙනී යන්නේ, නෙට් මීටරින් යටතේ සූර්ය විදුලිය මිලදී ගැනීමෙදී එක් ඒකකයක් රු.45.00 ක් වැනි අගයක් වෙනවා. අනෙකුත් ක්‍රමවේද දෙකෙන් සූර්ය විදුලිය මිලදී ගැනීමෙදී රු. 22.00 ක් වැනි මුදලක් වනවා. මෙම ක්‍රමවේදයන් අතරවන නොගැලපීම් තත්ත්වයන් පිලිබදව කරුණු විමසා බැලීමට කමිටුවක් පත්කරලා තිබෙනවා. මේ වනවිට ඒ කමිටුව අධ්‍යයනය සිදුකරමින් පවතිනවා යැයි පැවසීය.

සූර්ය විදුලිබල ක්ෂේත්‍රයේ සිදුකළ යුතු යම් යම් වෙනස්වීම් සම්බන්ධයෙන් පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. එම්. එස්. බටගොඩ, සූර්ය විදුලිබල සැපයුම්කරුවන්ගේ සංගමය, ලංකා විදුලිබල මන්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමග අමාත්‍යාංශ පරිශ්‍ර යේදී සාකච්ඡාවක් පැවති අතර මිල සංශෝධනයන් පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරෙිනි. අදාළ මිල සංශෝධනයන් වෙනුවෙන් සූර්ය විදුලිබල සැපයුම්කරුවන්ගේ සංගම් වලින්ද කිසිදු විරෝධතාවක් පැනනොනැගුණ අතර එම මිල සංශෝධනයන් වෙනුවෙන් එහිදී එකගතාවයකට පැමිණීමට හැකි විය. කරුණු එසේ වුවද සූර්යබල සංග්‍රාමයේ ප්‍රගතිය මෙන්ම අඩුපාඩු පිළීබදව සොයාබැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් අදාළ ව්‍යාපෘතියේ කිසිදු සංශෝධනයක් සිදුනොකරන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේ පිළිබදව අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පර්යේෂණ සහ සංවර්ධන, රොනල්ඩ් කොමෙස්ටර් මහතා පැවසුවේ, දැනට පවතින වහල මත සවි කරන සූර්ය විදුලි පද්ධති පිලිබදව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත්, තමා එහි සභාපතිවරයා බවත්, ලංකාවේ සූර්ය විදුලි සැපයුම්කරුවන්ගේ සංගමය, විෂයභාර අමාත්‍ය රවී කරුණානායක සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ යන මහතුන් සමග පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල සාකච්ඡාවක් පවත්වා සූර්යබල විදුලි මිලගණන් සංශෝධනයන් සම්බන්ධයෙන් යම් යෝජනාවන් කිහිපයක් ඉදිරිපත් කළ බවත්, අදාළ යෝජනාවන් වෙනුවෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කටයුතු කරන බවට පැතිර ඇති ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි එම්. ආර්. රත්නායක මහතා,

අපට වැඩිපුරම අවශ්‍ය වූයේ ගෘහස්ත පාරිභෝගිකයන් මෙම සූර්යබල සංග්‍රාමයට උනන්දු කරවීමයි. අපිට සූර්ය විදුලිය එක් ඒකකයක් වෙනුවෙන් පිරිවැය රු. 20.00 වගේ වුවත් පාරිභෝගිකයන්ගෙන් ලැබෙන්නේ රු. 16.00 ක් වැනි ප්‍රමාණයක්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් සෝලා නිෂ්පාදකයින්ට ලබාදීමට තමයි අපි මෙම යෝජනාවල් කළේ. නමුත් තවමත් එම යෝජනාව ස්ථිරවී හෝ අමාත්‍යාංශ හෝ කැබිනට් අනුමැතියක් ලැබී නැහැ. තවමත් යෝජනා මට්ටමේ තමයි තිබෙන්නේ යැයි පැවසීය.

රජයේ ප්‍රතිපත්තිය මත, 2016 වර්ෂයේ සිට ආරම්භ කරන ලද සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ මෙරට පාරිභෝගිකයන්ට තම පරිශ්‍රවල වහල මත සවිකරන සූර්ය ජනන පද්ධති මගින් විදුලිය ජනනය කිරීමට අවස්ථාව ලබා දී තිබේ. කෙසේ නමුත් මෙම වැඩසටහන යටතේ මෙ.වො. 100 ධාරිතාවයක් පද්ධතියට එක් වූ පසු මෙම වැඩසටහන පිලිබඳ සමාලෝචනයකට එකඟ වී තිබිණ. විශේෂයෙන්ම වැඩසටහන වඩාත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම, ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්වයට සහ පද්ධතියේ තාක්ෂණික තත්වයට ඇති වන බලපෑම සොයා බැලීමට යෝජනා වී තිබේ. සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ විදුලිය මිලදී ගැනීමේදී සාධාරණ මුදලක් ඒ සඳහා ගෙවිය යුතු වේ. කෙසේ නමුත් මේ සම්බන්ධව සමාලෝචනය කිරීමේදී ලැබී ඇති යෝජනා පිලිබඳව විවිධ පාර්ශව මේ වන විට අසත්‍ය මතවාද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පතුරුවාලීමට කටයුතු කරමින් පවතින අතර මේ තත්වය තුල මෙරට මහජනතාව නොමගයාමක් සිදුවේ. එබැවින් සූර්යබල සංග්‍රාමය යටතේ විදුලි පාරිභෝගිකයන්ට සූර්ය ශක්තිය මගින් විදුලිය ජනනය කිරීමට ඇති පහසුකම ඉවත් කිරීමට කටයුතු කර නොමැති අතර එවැනි පාරිභෝගිකයන් ජනනය කරන සූර්ය බලශක්තිය සාධාරණ ගාස්තුවක් යටතේ මිලදී ගැනීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සවර්ධන අමාත්‍යාංශය මගින් කටයුතු කරනු ඇත.

සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සූර්ය විදුලි ජනනයට විදුලි පාරිභෝගිකයන් සම්බන්ධ වීම දිරිගැන්වීම සඳහා රජය, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇ.ඩො.මිලියන 50ක ණය මුදලක් ලබාගෙන මෙරට විදුලි පාරිභෝගිකයන්ට සහන ණය මුදලක් ලබා දීමට මෙන්ම සූර්ය ජනන පද්ධති සේවා සපයන ආයතන වෙතින් ගුණාත්මක සේවාවක් ලබා දීමට අවශ්‍ය ප්‍රමිති හඳුන්වාදීම ද සිදු කර ඇත. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා තිබෙන විදුලි ජනන අභියෝග හේතුවෙන් පද්ධතියේ ඇතිව තිබෙන හදිසි විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට විදුලිබල නැව් 02ක් ගාල්ල හා කොළඹ ග්‍රිඩ් උපපොලවලට සම්බන්ධ කර පද්ධතියට එක් කිරීමට නියමිත විදුලිය මිලදී ගැනීම් පිළිබඳවද සූර්යබල ජනනය සම්බන්ධ කර අසත්‍ය ප්‍රචාර දිගින් දිගටම ප්‍රචාරණය කිරීම යම් පාර්ශ්වයන් සිදු කරමින් සිටී.

සූර්යබල සංග්‍රාමය වැඩසටහන ක්‍රියාත්මක වන ක්‍රමවේදය වෙනස් කිරීමට මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන පිරිස්වල එම සාවද්‍ය තොරතුරු සැලකිල්ලට නොගන්නා ලෙස විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් විදුලි ජනනය සඳහා වන අනාගත ඉලක්ක සපුරාලීම සඳහාත් වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනයෙන් මෙරට විදුලි සැපයුමේ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහාත් රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

RSL

Related Posts