අනුර කුමාරලා අද පෙනී හිටින්නේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්

Spread the love

අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනෙක එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ නොවන බවත්, අදටත් ඔවුන් පෙනී සිටින්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැති අයිතිවාසිකම් වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවන බවත් ෂෙහාන් සේමසිංහ සඳහන් කළේය.

ඊයේ (26දා) අගමැති කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

පාර්ලිමේන්තුවේ සම්මත කරන ඕනෑම යෝජනාවක් ජනාධිපතිතුමා පිළිගන්නේ නිසි ක්‍රමවේදයකට අනුව, ඒ යෝජනාව සම්මත කරලා, එතුමා වෙත එව්වොත් විතරයි කියන කාරණය එතුමා පැහැදිලිව ඊයේ ප්‍රකාශ කළා. ඉතා පැහැදිලිව අපේ විරෝධය එල්ල කරන්නේ කථානායකවරයාට. ඔහු මේ රට සමස්තයක් හැටියට අවුල් කළා. ඇතිවෙලා තිබෙන අර්බුදය හැකි ඉක්මනින් විසදා ගත යුතුයි. කිසියම් දේශපාලන පක්‍ෂයක් මේ අර්බුදය විසඳන්න කටයුතු කරන්නේ නැතිව වෙනත් ආකාරයේ කටයුතු කරන්න සූදානම් නම් ඒ කිසිම දේශපාලන පක්‍ෂයක් අද රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයට විසඳුම් දෙන්න කැමැති නැහැ.

මේ වෙනකොට එජාපයත්, දෙමළ ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් පාර්ලිමේන්තුව ඇතුළේ සන්ධානගත වෙලා ඉන්නවා. ඔවුන් පාර්ලිමේන්තුව ඇතුළෙ සන්ධානගත වෙලා ඉන්න ප්‍රධාන හේතුව තමයි ජනතා විමුක්ති පෙරමුණට කිසිදාක පාර්ලිමේන්තුව තුළ නොලැබෙන වරප්‍රසාද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ ලැබීම. ඒ වරප්‍රසාද භුක්ති විඳපු අනුර කුමාර ඇතුළු කණ්ඩායම තවමත් ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් රටේ නායකත්වය ගැන කිසිම වගකීමක් නැතිව කටයුතු කරනවා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිවරුන්ට අද එජාපය පාලනය කිරීමේ අවස්ථාවක් නැතිවෙලා තිබෙනවා. අද පාර්ලිමේන්තුව තුළ එජාපය පාලනය කරන්නේ අනුර කුමාර දිසානායකයි, සුමන්තිරන් මන්ත්‍රිවරයායි. මැතිවරණයකට යන්න තිබෙන ඉඩකඩ සියල්ල මේ වෙනකොට මේ කණ්ඩායම් වළක්වමින් පවතිනවා. ජනතා විමුක්ති පෙරමුණ තමයි එජාපය මැතිවරණයකට යන එක වළක්වාගෙන ඉන්නේ. මේ අර්බුදය විසදා ගැනීමට තිබෙන එකම ක්‍රමය පාර්ලිමේන්තු මැතිවරණයක් පමණයි.

ඒ වගේම එජාපයේ නවීන් දිසානායකට අපි කියනවා එතුමාට කථානායකවරයා හරහා ලබාදීලා තියෙන්නේ තවත් බොරු ලණුවක් කියලා. නවීන් හිතාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ කථානායකට කියපු ආකාරයටම ඊළඟට එජාපයේ නායකත්වයට පත්වෙන්න පුළුවන් කියලා. ඒ වගේම නායකයන් විශාල ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ පත් කළා. එවලෙට විසඳුම් ගෙනල්ලා හැබැයි ස්ථිර නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ කටයුතු කළා.
තව පැත්තකින් සජිත් ප්‍රේමදාස බලාගෙන ඉන්නවා කොහොමද නායකත්වයට එන්නේ කියලා. චම්පික රණවකත් විවිධ කණ්ඩායම් එක්ක එජාපය ඇතුළේ සාකච්ඡා කරනවා නායකත්වය ලබා ගන්න. මේ පක්‍ෂය අද හතරට පහට කැඩිලා ගිහිල්ලා.

අපි පැහැදිලිව කියනවා එජාපයට මේ මොහොත වෙනකොටත් ඔවුන්ට බහුතරය පාර්ලිමේන්තුව ඇතුළේ නැහැ. මේ මොහොතේ මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාට පමණයි බහුතරය තිබෙන්නේ. ඒ වගේම තමයි අපි පැහැදිලිව කියනවා කථානායකවරයා පාර්ලිමේන්තුව තුළ පක්‍ෂග්‍රාහීව සහ නීති විරෝධීව කටයුතු කරන තාක්කල් ඔහු සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරන්නේ නැහැ. ඔහු නිවැරැදිව කටයුතු කරනනවා නම් පමණයි අපි ඔහුට සහාය දෙන්නේ.

ඒ වගේම තමයි එක්සත් ජාතික පක්‍ෂය සමඟ කවදාවත් අපි සන්ධානගත වෙන්නේ නැහැ. අපි ඉදිරියේදී පැහැදිලි සන්ධානයක් සමඟ ඉදිරියට එනවා. එජාපයත් එක්ක එකතු වෙන්න අපිට වුවමනාවක් නැහැ.
ඩී.වී. චානක මහතා

කථානායකගේ මැදිහත්වීමෙන් අද වෙනකොට පාර්ලිමේන්තුව විකෘතියක් බවට පත්වෙලා. අපි රටේ ජනතාවට කියනවා අපි වර්ජනය කළේ පාර්ලිමේන්තුව නෙවෙයි. අපි වර්ජනය කළේ පක්‍ෂග්‍රාහීව කටයුතු කරන එක්සත් ජාතික පක්‍ෂ කථානායකවරයාව.

RSL

Related Posts