ව්‍යාජ විසඳුම් වලට එරෙහිව සයිටම් අහෝසි කිරීමේ සටන ඉදිරියටම..

Spread the love

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ව්‍යාජ විසඳුමක්‌ බවද සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා සිදුකරන වෘත්තීය සටන තවදුරටත් ඉදිරියට ගෙන යන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

සයිටම් ආයතනය පිළිබඳ විසඳුම් ඉල්ලා හඬ නගන කිසිදු පාර්ශ්වයක්‌ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටියේ නැතැයි පැවසූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා රෝහල රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටියේ එහි හිමිකරු වන නෙවිල් ප්‍රනාන්දු සහ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහත්වරුන් යෑයිද පැවසුවේය.

මෙතෙක්‌ රෝගීන් නොපැමිණි නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් පසු රෝගීන් පැමිණෙනු ඇතැයි එහි අයිතිකරු සහ සෞඛ්‍ය ඇමැතිවරයා විශ්වාස කරන බවද එමගින් තමාට ඇති ප්‍රධාන ගැටලුව විසඳෙනු ඇතැයි නෙවිල් ප්‍රනාන්දු මහතා කල්පනා කරනු ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.

ස්‌වකීය ව්‍යාපාරය තුළින් තවදුරටත් ධනය ඉපයිය හැකිවනු ඇතැයි යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනාව බව පැවසූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙරේදා පැවැති උත්සවයේදී නෙවිල් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය අනුව රාජිත සේනාරත්න මහතා එස්‌. බී. දිසානායක යන ඇමැතිවරුන් නොසිටින්නට සයිටම් කියා ආයතනයක්‌ නොමැති වනු ඇතැයි ද කීවේය.

සයිටම් ආයතනය නොතිබුණේ නම් රට තුළ මෙවන් අර්බුදයක්‌ මතු නොවන බවද වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හෑල්ලුවට ලක්‌වී රෝගීන්ගේ ජීවත්වීමේ අයිතියට ගැටලු මතු නොවනු ඇතැයි ද හරිත අලුත්ගේ මහතා කීවේය.

ජනාධිපතිවරයාද නොමග යවමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පෙරේදා ඉදිරිපත් කළේ හාස්‍යජනක නාටකයක්‌ බව කී වෛද්‍ය අලුත්ගේ මහතා ඒ තුළ රට ඉදිරියේ ගැටලු කිහිපයක්‌ මතුවන බවද කීවේය.

සත්‍ය වශයෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමක්‌ සිදුවූවාද නැතිනම් එය බදු ගිවිසුමක්‌ අත්සන් කිරීමක්‌ද මෙහිදී නෙවිල් ප්‍රනාන්දු මහතාට ඇති අයිතිය කුමක්‌ද? යෝජිත පරිපාලන ව්‍යqහය සහ එහි නෙවිල් ප්‍රනාන්දු මහතාගේ භූමිකාව කුමක්‌ද? රෝගීන්ට මෙම රෝහලෙන් නොමිලේ ප්‍රතිකාර සේවා ලැබෙන බවට ඇති සහතිකය කුමක්‌ද? රෝහල තුළ සුදුසුකම් නොමැතිව සේවය කරන පිරිස පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග කවරේද? අලුතින් කාර්ය මණ්‌ඩලය බඳවා ගැනීමේ වැඩපිළිවෙළ සහ ඔවුන්ට වැටුප් ගෙවන්නේ කවුද? මෙම ගිවිසුම සඳහා ලංකා බැංකුව සම්බන්ධ කර ගැනීමේ පදනම කුමක්‌ද? මේ දක්‌වා රෝහල තුළින් නෙවිල් ප්‍රනාන්දු මහතා ලබාගෙන ඇති ශුද්ධ ලාභය කොතෙක්‌ද? එම මුදලට සරිලන සේවාවක්‌ අදාළ සිසුන්ට ලබාදී තිබේද? එසේ නොමැතිනම් ඒ පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරන අන්දමට ඉදිරියේදී බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව පන්සියය දක්‌වා වැඩි කිරීමට කර ඇති ශක්‍යතා අධ්‍යයන වාර්තා මොනවාද යන ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (18 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි ප්‍රකාශ කළේය.

සයිටම් ආරම්භ කිරීමේ උළෙලට පවා එවක සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සහභාගි නොවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනතාව ඉදිරියේ අප්‍රසාදයට ලක්‌ කිරීමේ කුමන්ත්‍රණයක අදාළ ඇමැතිවරුන් පිරිස සිටින බවට සැක මතුව ඇතැයිද කී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පුද්ගලයන් කිහිප දෙනකුගේ පුද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව සිදුකළ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුත්ත තුළින් ප්‍රශ්න විසඳනවා වෙනුවට තවත් උග්‍ර තත්ත්වයට පත්ව ඇතැයිද කීවේය.

RSL

Related Posts