තවත් විදේශීය තරුණියක් හික්කඩුවේදි පැහැරගෙන ගොස් දූෂණය කරයි

Spread the love

සිය පෙම්වතා රැගෙන ඒම සඳහා හික්කඩුව නගරයේ වෑන් රථයක් බලාපොරොත්තුවෙන් සිටි හංගේරියානු ජාතික තරුණියක වෑන් රථයේ දමාගෙන ගොස් දූෂණය කළ බව කියන තරුණයෙකු අද (04) අළුයම හික්කඩුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

විදේශීය ජාතික තරුණිය රැගෙන බව කියන වෑන් රථයද හික්කඩුව පොලීසියේ බාරයට ගෙන තිබේ. සැකකරු සහ වෑන් රථය හෙට (05) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පයාගල පදිංචි ආනන්ගොඩ, පයාගල පදිංචි 27 හැවිරිදි අවිවාහක අයෙකි.

හික්කඩුව පොලීසියේ බාරට ගෙන ඇත්තේ තරුණිය පැහැරගෙන ගියබව කියන අංක NC – 542 දරණ වෑන් රථයයි.

හංගේරියානු ජාතික 31 හැවිරිදි තරුණිය විසින් හික්කඩුව පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

තමා 2018 දෙසැම්බර් 25 දින ලංකාවට පැමිණි බවත් මිරිස්ස ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිට 2019 පෙබරවාරි 18 දින හික්කඩුව ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ලැගුම් ගත් බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් වේ.

සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ වෑන් රථය හික්කඩුව පොලීසියේ නිලධාරීන් විසින් හදුනාගෙන තිබී ඇති අතර අද (04) අළුයම නැවත වරක් විදේශිකයින් පිරිසක් සමඟ වෑන් රථය හික්කඩුවට පැමිණ සිටියදී හික්කඩුව කොරල් සෑන්ඩ් හෝටලය අසලදී සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය වූ දින සැකකරු හික්කඩුවට පැමිණෙමින් සිටියදී සීනිගම දේවාලය අසල පඩුරු දැමීම සදහා වෑන් රථයෙන් බැස යන අයුරු ඒ අසල සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබූ බවද හික්කඩුව පොලිසිය කියයි. වෑන් රථය අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාව වන විට එය සම්පූර්ණයෙන්ම වෙනස්කර තිබී ඇත.

නමුත් වෑන් රථයේ පිටුපස වීදුරුවේ අලවා තිබු ස්ටිකරයක් මාර්ගයෙන් මෙම වෑන් රථය හදුනාගෙන ඇත.

සී.සී.ටී.වී කැමරා දර්ශන වලින් දුටු එම ස්ටිකරය පොලිස් නිලධාරීන්ගේ මතකයේ තිබී ඇති අතර ඒ මතකය ඔස්සේ වෑන්රථය හා සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලිංගික අපයෝජනයට අදාල තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

හංගේරියානු ජාතික තරුණිය මෙරට තරුණයෙකු හා විවාහ වි සිටින බවත් ඔහු විදේශ රටක සිට පසුගිය පෙබරවාරි 19 දින මෙරටට පැමිණීමට නියමිතව සිට ඇති බවත් හික්කඩුව පොලීසිය කියයි.

පෙම්වතා රැගෙන ඒමට කටුනායක ගුවන් තොටුපලට යෑම සදහා පෙම්වතා විසින් වෑන් රථයක්ද වෙන්කර දී 19 දින ප.ව 2.45 ට වෑන් රථයට හික්කඩුවට පැමිණෙන ලෙසද දන්වා ඒ බැව් හංගේරියානු ජාතික සිය පෙම්වතියටද දන්වා ඇත.

නමුත් හංගේරියානු ජාතික තරුණියට අවබෝධ වී ඇත්තේ අළුයම 2.45 ට පැමිණෙන ලෙස දැන් වූ බවකි.

එදින අළුයම 2.45 ට පමණ තරුණිය හික්කඩුවේ පෞද්ගලික බැංකුවක් අසල සිටියදී වෑන් රථයක් පැමිණ ඇය අසල නවතා ඇති බවත් ඇය සිතා ඇත්තේ තමන් වෙනුවෙන් වෙන්කරන ලද වෑන් රථය පැමින ඇති බවත් යැයිද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

පසුව ඒ බැව් වෑන් රථ රියදුරාගෙන් විමසා ඇති අතර රියදුරා පවසා ඇත්තේද තමා වෙන් කරගත් එම වෑන් රථ බවයි. එයින් පසු තරුණිය වෑන් රථයට නැග තිබෙන අතර සැකකාර රියදුරා තරුණිය රැගෙන දොඩන්දූව පාලම මතට ගෙන ගොස් වෑන් රථය තුලදීම හංගේරියානු ජාතික තරුණිය දූෂණයට ලක්කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ.

අතවරට පත් තරුණිය එදිනම වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සදහා හික්කඩුව පොලීසිය මගින් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීණී සමාධී දන්දෙණිය ආරච්චිගේ මහත්මිය වෙත ඉදිරිපත් කර තිබෙන අතර තරුණිය දූෂණයට ලක්ව තිබෙන බව අධිකරණ වෛද්‍ය නිලධාරීතුමිය විසින් නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවේ සදහන් වේ.

සැකකාර රියදුරා අවිවාහක අයෙකු බවත් ඔහු පයාගල ප්‍රදේශයේ ධනවත් කාන්තාවක සමග අනියම් ඇසුරක් පවත්වන බවත් පොලිස් පරික්ෂණ වලදි තහවුරු වී තිබේ.

මෙම වෑන් රථය මිළ දී ගෙන සැකකරුට ලබා දී ඇත්තේද මෙම කාන්තාව විසින් බවද හික්කඩුව පොලීසිය කියයි. මෙම පරීක්ෂණ කටයුතු සදහා හික්කඩුව ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නිරත විශාල පිරිසක් සහය දැක්වූ බවත් මෙම කටයුත්ත කිසිසේත් හික්කඩුව ප්‍රදේශයේ අයෙකු විසින් නොකරන බවට ඔහුන් ප්‍රකාශ කර තිබු නිසා පිටස්තර ප්‍රදේශවලින් හික්කඩුවට පැමිණෙන සංචාරක ව්‍යාපාරයේ නිරත වෑන් රථ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටි බවත් හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

හික්කඩුව පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා, උප පොලිස් පරීක්ෂක පතිජීව, පොලිස් සැරයන් මහින්ද (7449), පොලිස් කොස්තාපල්වරුන් වන ගුණතිලක (59089), ප්‍රියදර්ශණ (78572), නානායක්කාර (7223), විජේසිංහ (91220) නාමල් (60450) යන නිලධාරීන් ඇතුළු පිරිසක් සැකකරු අත් අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

ගාල්ල දිසාව බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, ගාල්ල පොලිස් අධිකාරි අනුරාධ බණ්ඩාර හක්මණ, ගාල්ල – 2 සහකාර පොලිස් අධිකාරි දුල්ෂාන් නාගහවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැටලීම මෙහෙයවා තිබේ.

-දෙරණ-

Loading...

RSL

Related Posts