අපි මෙහෙම ජඩ වැඩ බලු වැඩ කළේ නෑ

Spread the love

2015 ආණ්ඩුවක් හැදුවේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්නයි. එදා රටේ තිබූ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි. ආණ්ඩුව පිහිටුවපු දා සිට රට තුළ යහපාලන ආණ්ඩුවක් ක්‍රියාත්මක කළා. මාධ්‍ය පාලනය කරන්න ගියේ නැහැ. ජඩ වැඩ කළේ නෑ. බලු වැඩ කළේ නෑ. ආරම්භ කරලා තියෙන සංවර්ධන කටයුතුවලින් කොමිස් ගැහුවෙ නැහැ” යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය ආසනයේ පක්ෂ සංවිධානය, කුලියාපිටිය නගරයේදී “පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු” යනුවෙන් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

එහිදී අකිල විරාජ් මෙසේද පැවැසීය.

“රාජපක්ෂ මහත්තයලාගේ තිබුණු ඒ හොරකම, ඒ වගේම පවත්වාගෙන ආ ප්‍රජාතාන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් ආදියට විරුද්ධව තමයි යහපාලනය ආණ්ඩුවක් එක්ක රටේ ජනතාව අත්වැල් බැඳගත්තේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කළේ ජනතාවගේ අයිතීන් ලබා ගන්න. මේ රටේ යහපාලනයක් ඇති වෙනවා දකින්න. නමුත් එතුමා කළගුණ නොදන්නා නායකයෙක් ලෙසට හැසිරුණු ආකාරය දැන් රටම දන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ පරාජය කරන්න මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා පහර පිට පහර දුන්නේ එතුමා. එයින් එක්සත් ජාතික පෙරමුණ පසු බෑමකට ලක්වුණා.

ජනතාව ඇහැව්වා හොරුන්ට දඬුවම් දුන්නේ නැත්තේ ඇයි කියලා. හොරුන් ආරක්ෂා කළේ ඔවුන්ට දඬුවම් දීම පරක්කු කළේ කවුද කියලා ජනතාව දන්නවා. ජනාධිපති අපේ කකුලෙන් ඇද්දා. දූෂණය, වංචාව වපුරපු, හොරකම් කරපු, ගසා කාපු පුද්ගලයන් ආරක්ෂා කළේ මෛත්‍රි ජනාධිපතියි. මාධ්‍ය ඉදිරියේ බොරුවට රඟපාමින් රාජපක්ෂවරු රැක්කේ ඔහුයි. කවුරු මොනවා කළත් මොනවා කිව්වත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණටයි. මහින්ද අගමැති කළේ කුමන්ත්‍රණයකින්.

ජනාධිපති මෛත්‍රි හා මහින්ද කුමන්ත්‍රණයක් කරලා අද පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතිව එක එක චණ්ඩි ළඟට ගිහින් සල්ලි කෝටි ගණන් දෙන්නම් කියමින් වැඳ වැටෙමින් මන්ත්‍රිවරු හිඟා කනවා. එක එක්කෙනා පස්සේ යන්න අද ජනාධිපතිටත් මහින්දටත් සිදුවෙලා තියෙනවා. ජනාධිපතිට කියනවා පාර්ලිමේන්තුව ඉක්මනින් කැඳවන්න, බම්බු ගහන්න එපා, වෙට්ටු දාන්න එපා, මන්ත්‍රිවරු බිලී බාගන්න හදන්න එපා. අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා ජයග්‍රහණය කරලා කකුලෙන් ඇද්ද හංවඩුවක් නැතිව තනි ආණ්ඩුවක් හදනවා.”

RSL

Related Posts