තැපල් ජන්ද අයදුම්පත් 78,000 ක් ප්‍රතික්ෂේප වෙයි

Spread the love

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේප වී තිඛෙනවා.

මැතිවරණ කොමිසම පැවසුවේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 7,17,918ක් ඉල්ලුම්පත් භාර දුන් බවයි.

ඒ අතුරින් අයදුම්පත් 6,39,515ක තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගත් බව මැතිවරණ කොමිසම සඳහන් කළා..

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි තැපැල් ඡන්ද හිමියන්ට ලබන 31 වනදා සහ ලබන මස 01 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතිනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසියට ඒ සඳහා අවස්ථාව සලසා දී ඇත්තේ ලබන මස 04 වනදායි.

එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 07 වනදා තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා තිඛෙනවා.