චන්ද්‍රිකාට තියෙන්නේ පෞද්ගලික කෝන්තරයක්; දයාසිරිට චන්ද්‍රිකා එවූ වට්ස් ඇප් පණිවුඩය මාධ්‍ය හමුවේ තබයි

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඔක්තෝබර් 19 වැනිදා සිය ගිවිසුම අත්සන් තබන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ වහාම තම ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවද ඒ මහතා ඊයේ(15) පැවති පක්ෂ මාධ්‍ය හමුවේදී සඳහන් කළ අතර සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාත් එහිදී අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සුළු දේශපාලන පක්ෂ විස්සකගේ පමණ සහයෝගය ඉදිරියේ දි ලැබෙන බවයි.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, 17 හෝ 18 වන දා වන විට ගෝඨාභය මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් කරන බවත් පසුව ආණ්ඩුවක් සාදා ඉදිරි මාස 5 ඇතුළත මහමැතිවරණයකට යන බවත්ය.

ඒ අනුව ඉදිරි වසර 5 වමේ ප්‍රගතිශීලි ආණ්ඩුවක් සමඟ රට ඉදිරියට කරගෙන යන බවත් පැවසු දයාසිරි මහතා, සන්ධානය ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව කොටස් වෙළඳ පොළ පවා සියයට 2.5 කින් ඉහළ ගිය බව පැවසීය.

ලබන 19 වන දින ගෝඨාභය මහතා සමඟ ගිවිසුම පදනම් ආයතනයේ දී අත්සන් තැබීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් අද නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට ගත් තීරණය එම පක්ෂය පාවාදීමක් බවයි.

-උපුටාගැනීම-

සුවිශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහසින් පසු පැවැත්වු සියලු මැතිවරණවලට ඉදිරිපත් විය. එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට තව නෝබෝ දිනකින් මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමට පැවැත්වෙන තීරණාත්මක ජනාධිපතිවරණය සඳහා අප පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ගන්නට නොහැකි වී තිබේ.

ආඥාදායක   නායකයෙකු  පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් 2015 ජනාධිපතිවරණයේදි මෙරට පොදු ජනතාව ජීවිත අවදානම් නොතකා නායකත්වය ගත්තද , හැට දෙලක්ෂයක ජනවරමින් බලයට පත්වූ නායකයා තම පෞද්ගලික අවශ්‍යතාව සඳහා අද වන විට පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පවා දී තිබේ.

පක්ෂය විනාශ කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වීමට ඉඩ නොතැබිය යුතු ය.ඒ සඳහා ඔබ සියලු දෙනා එළඹෙන ජනාධිපතිවරණයේදි වඩාත් බුද්ධිමත්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි .

-චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග –

-උපුටාගැනීම අවසන්-

හිටපු ජනාධිපතිනියගේ ස්ථාවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, හිටපු ජනාධිපතිනිය තමාටත් වට්ස්ඇප් පණිවිඩයක් එවා තිබු බවයි.

එය එතුමිය මුහුණු පොතේ දාලා තිබුණු බවද කියා සිටි මන්ත්‍රීවරයා, තමාට පිළිතුර මුහුණු පොතේ පළ කළ බව ද කියා සිටියේය.

එතුමියට රාජපක්ෂ මහතා සමඟ ඇත්තේ පෞද්ගලික ප්‍රශ්නයක් බවත් සඳහන් කර සිටි දයාසිරි ජයසේකර මහතා, එතුමියගේ උපන්දිනය දා පක්ෂ සභාපතිධූරය අහෝසි කිරීමේ වෛරයක් ඇති බව ද පැවසීය.

එතුමිය විසින් රාජපක්ෂවරුන්ට විරුද්ධව ඕනෑම තැනක හිට ගන්නා බවත් පැවසු මන්ත්‍රීවරයා, ශ්‍රී.ල.නි.ප සුරැකීමේ සංවිධානය යනුවෙන් සංවිධානයක් ඇති බවත් මෙය එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බවත් කියා සිටියේය.

ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ට ලක්ෂ පහ ගානේ ලබා දීමට සෑම තැනින්ම කථා කරන බවත් පැවසු මන්ත්‍රීවරයා, රැස්වීම්වල හු කියන අයට කථා කරලා වහාම ඒ පැත්තට ගෙන්වා ගන්නා බවත් පැවසීය.

ප්‍රශ්නය -01 කුරුණෑගලදි ඔබතුමාටත් හූ කියයිද?

“මට කවුරුත් හූ කියන්න එන්නේ නෑ. හූ කියන්න ආවොත් ඒ අයට සලකයි ගාණට“ යනුවෙන් පැවසු මන්ත්‍රීවරයා, “අපිටත් ආදරය කරන අය පොලු තියාගෙන ඉන්නවා“ යනුවෙන් ද පැවසීය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ හු කියා ඇත්තේ පොහොට්ටුවේ අයටම බවයි.

-දෙරණ-

RSL

Related Posts