උදාවන වසන්තයට පෙර පොඩි අපල කාලයක්! ඇවන්ගාඩ් සභාපති රිමාන්ඩ්

Spread the love

ගාලු වරාය ආසන්නයේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනි අවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නොවැම්බර් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිට මෙරටට අද පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් කටුනායක ගුවන්තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගැනුණි.

ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අයත් එම්.වී ඇවන්ට්ගාඩ් නැමති නෞකාවේ කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධී අන්දමින් ස්වයංක්‍රීය ගිනි අවි 816ක් හා ජීව උණ්ඩ දෙලක්ෂ දෙදාස් තුන්සිය අනූපහක් තබා ගැනීම ඇතුළු චෝදනා 7573 යටතේ ය.

2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වනදා අතර කාලසීමාව තුළ හික්කඩුව මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ නිසි අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි සහ උණ්ඩ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩු ගොනුකර තිබුණි.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස නිශ්ශංක සේනාධිපති ඇතුළු පස් දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජූලි 4 වැනිදා පස්වරුවේ නිෂ්ප්‍රභ කෙරුණි.

නමුත් එම තීරණය දැනුම් දීමට පෙර එනම් එදින පෙරවරු 11.40ට පමණ නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝර් විශ්වජිත් දියබලනගේ යන අය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ වීම හේතුවෙන් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඊට පසු දින එනම් ජූලි 5 වැනිදා උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව සිංගප්පූරුවේ සිට අද අලුයම දිවයිනට පැමිණි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

අනතුරුව ඔහුව කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවට අද දහවල් ඉදිරිපත් කෙරුණි.

RSL

Related Posts