සජියා අමාරුවේ දාන අජියා, සුජියා, කබියා සහ හ(න)රියා..!

Spread the love

උක්ත යෙදුම මවිසින් නිර්මාණය කරන ලද්දක් නොවේ.. එය මගේ හිතවතෙක් විසින් මා හට පවසන ලද්දදකි. එහි ඇති පද ගැලපීම නිසා මා මෙම යෙදුම මෙම ලිපියට අන්තර්ගත කළ බව කාරුණිකව සළකන්න.

2020 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පිලිබඳව මේ වනවිට රට තුළ පවතින්නේ ගැටළු සහගත තත්ත්වයක්. එක් අතකට “හවහ මාලු කුණු වෙනවා” යැයි ගමේ මිනිස්සු කියන්නාක් මෙන් ජනාධිපතිවරණය තවමත් ප්‍රකාශයට පත් කර නොමැතිව තිබිය දී ජනාධිපති අපේක්ෂකයෙක් නම් කිරීමට කඩිනම් නොවීම ද සැළකිල්ලට ගත යුතුය. මුහුද හත් ගව්වක් තිබිය දී අමුඩය ගැසීම උචිත නැත.

නඩුහබවලින් බේරෙන්නට ඇති හදිස්සිය නිසාම මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ මළයා වන ගෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට නම් කරන ලද්දේ බැසිල්ගේ තෘෂ්ණාධික ජාගර චිත්තය වෙනස් වීමට මත්තෙනි.

එසේ වුවද මවිසින් ඉහත සඳහන් කළාක් මෙන් “හවහ මාලු කුණු වෙනවා” යන න්‍යායට අනුව පොහොට්ටුවට ගෝඨා නම් කිරීම තුළ මෙතෙක් මහලොකු ආකර්ශණයක් ලැබී නොමැත.

ගෝඨාගේ ‌ඇල්මැරුණු කතාව ඇත්තනම් වග කිව යුත්තේ සිරිසේන ය..

පසුගිය දිනවල ඔහු පිළිගැනීම සඳහා පවත්වන කුඩා කුඩා රැළි වල දී ඔහු කියන්නේ එකම කතාවය. එනම් ජාතික ආරක්ෂාව තහවුරු කරන බව පමණි. ගෝඨා එසේ කියන්නේ වර්තමානයේ ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බව පෙන්වමිනි. එය ඇත්ත නම් ඊට වගකිව යුත්තේ කව්ද?

වගකිව යුත්තේ වෙන කිසිවෙක් නොව වර්තමානයේ සේනාධිනායකයා මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. එමෙන්ම ගෝඨාගේ දකුණු අත ලෙස සළකන වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතායි. එමෙන්ම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පොලිස් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සුසැදි ආරක්ෂක මණ්ඩලයයි.

ගෝඨාගේ මේ ඇල්මැරුණු කතා හැර ඔහු ආර්ථිකය සම්බන්ධව ඔහුට ඇති දැක්ම හෝ වැඩ පිළිවෙළ මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. එක්කෝ අනෙක් අපේක්ෂකයින් එම වැඩ පිළිවෙළ කියන තෙක් ඔහු කල්මරණවා විය හැකිය. එසේ නොවේ නම් ඔහුට වෙනමම වැඩ පිළිවෙළක් ඒ සඳහා නැත.

සජිත් පක්ෂය තුළ ජනප්‍රිය බව සැබෑ නමුත් පක්ෂය ආරක්ෂා ‌කෙළේ කව්ද?

කෙසේ වුවද , මේ අල්ල පනල්ලේ එක්සත් ජාතික පක්ෂය විසින් තවමත් තම අපේක්ෂකයා ප්‍රකාශයට පත් කර නොතිබීම සම්බන්ධයෙන් පවතින්නේ උණුසුම් තත්ත්වයකි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාත්, කථානායක කරු ජයසුරිය මහතාත් සුදුසුකම් ලබා ඇති අතර, තවත් නායකයින් කිහිප දෙනෙකුගේ නම් කියැවුන ද සජිත් දැනටමත් ජනාධිපතිවරණය සඳහා ලකලැහැස්ති වෙමින් සිටිනු පෙනේ.

සැබවින්ම සජිත් පක්ෂය තුළ ජනප්‍රිය චරිතයක් බව සැබෑය. එහෙත් ඔහු නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් තම හැකියාවන් පෙන්වා නැත. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ පක්ෂය අන්ත අසීරු තත්ත්වයන්ට ලක් වු අවස්ථාවන් හිදී පක්ෂය ආරක්ෂා කරන ලද්දේ මෙන්ම මෙම රජය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලද්දේ ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව කිව යුතු නැත.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමට පෙර ඔහු සෑම විටම තමන්ගේ නායකයින් ආරක්ෂා කළ දේශපාලනඥයෙකි. හොඳම නිදසුන වන්නේ ගාමිනි, ලලිත් ඇතුළු පිරිස එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ විට ජනාධිපති ආර් . ප්‍රේමදාස මහතා එම දෝෂාභියෝගයෙන් ගළවා ගන්නා ලද්දේ රනිල් ගේ බුද්ධි මහිමයෙනි.

එමෙන්ම පක්ෂය කඩාගෙන ගොස් එක්සත් ජාතික පෙරමුණ සාදා අවසානයේ ගාමිණි දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට පැමිණ 1994 දී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට උත්සාහ දරණ විට රනිල් ඊට ඉඩ දුන්නේය. අවසානයේ ගාමිණි කොටි බෝම්බයෙන් මිය ගිය පසු ශ්‍රීමා දිසානායක මහත්මිය ජනාධිපතිවරණයට තරඟ කරන බව පැවසු විට ඔහු ඊට ඉඩ දුන්නේය.

රනිල් කිසි විටෙක පක්ෂය දෙකඩ වන්නට හෝ තමන් යටතේ පවතින රජය කඩා වැටෙන්නට හෝ ඉඩ දුන්නේ නැත. ඔහු ආණ්ඩු පෙරළන ලද්දේ එම ආණ්ඩුවලට කළින් දැනුම් දී ඉන් අනතුරුවය.

එහෙව් රනිල්ගේ ඉවසීම ඔහුගේ දුර්වලතාවයක් යැයි කිසිවෙක් සිතන්නේ නම් එය ඔහුගේ අවාසනාවය.

“හොරොව්පොතානේ පළමු ඩීයාරෝ”

ඒ.පී. ඒ ගුණසේකර මහතා විසින් රචිත “හොරොව්පොතානේ පළමු ඩීයාරෝ” කෘතියේ දැක්වෙන එක සිද්ධියක් මෙහිදී මට මතක් වේ. මහකනදරාව වැවේ අලියෙක් හා ඇතෙක් අතර ඇති වු ගැටුමක් එම කතුවරයා විස්තර කර ඇත.

…..අලියා දිගට හරහට ඇතාට පහර දුන්නත්, ඇතා අලියාට ප්‍රතිපහර දෙන්නේ නැත. ඇතා දිගටම අලියාගෙන් පහර කනු දුටු ගම්මු ඇතා තවත් නොබෝ වේලාවකින් මිය යනු ඇතැයි සිතා දුක් වුහ.

දිග සවිමත් දළ යුගළක් සහිත ඇතා දිගින් දිගටම අලියාගෙන් පහර කෑවේය. දින දෙකකට පසු එතැනට පැමිණි ගුණසේකර මහතා දුටුවේ අපුරු සිද්ධියකි. එනම් මැරී වැටි සිටි අලියාගේ දේහය දෙස බලා සිටින හස්ති රාජයාය.

ඔහු අවට සිටි මිනිස්සුන්ගෙන් මෙසේ ඇසීය..

“මොකද වුනේ… ඇතා නේ දිගට හරහට අලියාගෙන් ගුටි කෑවේ..”

“නෑ.. සර්… අලියාගෙන් ගුටි කාලා බැරිම තැන ඇතා අඩි දහයක් දොලහක් විතර පස්සට ගියා.. එකපාරටම වේගයෙන් දුවගෙන ඇවිත් අලියාගේ පපුවට දළ දෙකෙන් ඇන්නා.. ඒක අලියාගේ හදවතටම වැදුනා… අලියා මැරිලා වැටුනා.. ඒත් සද්දන්තයා එතැනින් යන්නෑ. අලියා දිහා බලාගෙන කඳුලු සළනවා…”

අවසානයේ ගුණසේකර මහතා මෙහෙම කියනවා…

“ශක්තිවන්තයෙක් තමන්ගේ ශක්තිය පාවිච්චි නොකිරීම දුර්වලතාවයක් ලෙස සිතීම වැරදියි.. හැබැයි ශක්තිවන්තයා තමන්ගේ ශක්තිය ගැන දන්නා තරමට අනෙකා නොදැන සිටීමත් ඔහුටම ප්‍රශ්නයක්… ඒ නිසා ශක්තිවන්තයා තම ශක්තිය පාවිච්චි කළාම දුර්වලයාට ආයිත් හිතන්න වේලාවක් නෑ… දුර්වලයා ඒ වෙන කොටත් විනාශ වෙලා ඉවරයි.”

ශක්තිය කියන්නේ ඇ‌ඟේ ශක්තිය ද..?

ශක්තිය කියන්නේ ඇ‌ඟේ ශක්තිය ද..? කිසිසේත් ම නැත. කෙනෙක් ශක්තිමත් වන්නේ ශරීර ශක්තියෙන්ම නොවේ.. දැනුම, අවබෝධය, ඥානය, බුද්ධිය, බහුශ්‍රැතභාවය, අත්දැකීම්, පරිණතභාවය, සමාජ ආශ්‍රය, මහජන සම්බන්ධතා වැනි කරුණු ගණනාවක් තුළින් මනුශ්‍යයාට තම ශක්තිය වර්ධනය කළ හැකිය. සිරුරේ හයියෙන්ම සියල්ල කළ නොහැකිය. සිරුරේ හයියෙන් ම සියල්ල කළ හැකි නම් මේ වන විට මෙම ලෝකය පාලනය කරන්නේ මිනිසා නොව වෙනත් ශරීර ශක්තියෙන් අනූන ‌වෙනත් සත්වයින් විසිනි.

සජියා අමාරුවේ දාන්න දඟලන්‌නෝ..

සජිත් ට ජනාධිපතිවරණයකට තරඟ කිරීම සඳහා අයිතියක් මෙන්ම සුදුසුකම් ද නැත්තේ නොවේ. එහෙත් මෙවර ඔහුගේ වාරය යැයි සිතන්නේ නම් එය වරදවා වටහා ගැනීමකි. සැබවින්ම සජිත් අමාරුවේ දාන්නට වළි කන්නෝ කිහිප දෙනෙක් සිටිති. ඒ අතර අජිත් පී. පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, හා කබීර් හෂීම් ද වේ..

මට ඊයේ මගේ හිතවතෙක් මෙසේ කීය..

“හාමුදුරුවනේ… සජියා අමාරුවේ දාන්න දඟලන්නේ අජියයි, සුජියයි, කබියයි, හරියයි තමයි.”

එක් අතකට කවියක පද පෙළක් වැනි ගැළපෙන මෙම යෙදුම ඇසු විට මට සිහින් සිනාවක් ද ගියේය. සැබවින්ම එම පද පේළිය නිර්මාණාත්මක බවින් අනූන ය.

ඔහු කියු පරිදි මෙම කිහිප දෙනාම පක්ෂය වෙනුවෙන් මෙළෝ දෙයක් කරපු අය නොවේ. අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍ය කමක් දැරුව ද මෙම වසර පහට කරපු කෙංගෙඩියක් නැත. ඔහු විසින් කරන ලද එකම දේ නම් රැකියාවක් ඉල්ලා තමන් ලඟට එන අයට රැකියා දෙන ලෙස පළාත් සභා මන්ත්‍රීන්ට ලිපි යැවීම පමණි.

සුජිව සේනසිංහ ද ඊට නොදෙවෙනිය. කොළඹ දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට දෙවැනි ස්ථානයට මනාප ගත්තේ ඔහු විසිනි. ඔහු නියෝජ්‍ය ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් දැරුව ද තමන්ට මනාප දුන් ජනතාවට ශත පහක වැඩක් කර නැත. ඔහු විසින් කරන ලද එකම දෙය නම් 2016 ගංවතුර ට ලක් වු කඩුවෙළ ජනතාව බලන්නට බෝට්ටුවෙන් ගොස් එක් අයෙකුට කෙසෙල් ගෙඩියක් දීම පමණි.

මේ නිසා ඔහු ‘බනානා සුජී’ නම් විය.

අනෙකා හරින් ප්‍රනාන්දු යි. පළාත් සභා මැතිවරණයේ දී ඔහු බදුල්ල දිනා දුන්නා කියා ආඩම්බරයෙන් කියන ඔහු නොදන්නා එකම දෙය නම්, එවකට බදුල්ලේ නිමල් සිරිපාල හා ඩිලාන් ගේ නායකත්වය අඤ්ඤ කොරොස් වී තිබු බවයි. “ලූලා නැති වළට කණයා පණ්ඩිතයා” යැයි කියන්නාක් මෙන් ද, “ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්” යැයි කියන්නාක් මෙන් නායකයෙක් නැති බදුල්ල ට ඔහු නායකයෙක් විය.

එහෙත් රටම වැඩ කාරයෙක් යැයි සිතු හරින් පසුගිය වසර පහටම කළ එක් කටයුත්තක්වත් නැත. ගුගල් ලූන් හරහා රටටම වයිෆයි දෙනවා යැයි කියු ඔහු එම බැලුනය යවා දින දෙකක් යන්නටත් මත්තෙන් කඩා වැටුනු අතර ඔහු හයිෆයි එකෙන් කියු ඔහුගේ වයිෆයි ව්‍යාපෘතිය ලත් තැනම ලොප් විය.

කබීර් ද එසේමය. එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂය රැක ගන්නට ඔහු කළ ඉටි ගෙඩියක් නැත. අඩු තරමින් දේශපාලනික පළිගැනීම්වලට ලක්ව ගේදොර අහිමිව සිටි එක්සත් ජාතික පාක්ෂිකයින්ට හරි හැටි වන්දි ටික ලබා ගැනීමටවත් අවශ්‍ය ලියකියවිළි ටික සිරිකොත හරහා ලබා දෙන්නට ඔහුට නොහැකි විය.

එහෙම බලන විට සජිත් ප්‍රේමදාස මහතාගේ කීර්තිය විනාශ කිරීමට කටයුතු කරන මොවුන් සිදු කරන්නේ ඔහුව විනාශ කිරීම විනා අන් කිසිවක් නොවේ..

“රනිල් ලොක්කා” සහ අපහාසය..

එමෙන්ම මේ එක් අයෙක්වත් කිසි දිනෙක තම නායකත්වයට සළකා නැත. නිදසුනක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය නැංවීම සඳහා එම පක්ෂයේ මෙන්ම ඔහු වටා සිටින සියලු දෙනා කටයුතු කරන ආකාරය ගත හැකිය. ඔවුන් කිසි දිනෙක නායකයා විවේචනය කරන්නේ නැත. මහින්ද යනු තම අධ්‍යාත්මික නායකයා වන තරමට ම ඔවුන් සෑම අවස්ථාවකම තම නායකයා ඉහළට ඔසවා තබා කතා කරයි. සැබවින්ම එය අගය කළ යුත්තකි.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ මොවුන් පස් දෙනාගෙන් කිසිවෙක් කිසි දිනෙක තම නායකයා අගය කරමින් කතා කරන්නේ නැත. තම නායකයා අගය කරමින් සෑම විටම කටයුතු කරන කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ සිටිති.

ඒ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වෛද්‍ය රාජිත සේනාරත්න, වැනි දේශපාලනඥයින් කිහිප දෙනෙක් කැපී පෙනේ..

සජිත්ගේ කුරුණෑගල රැළියේ දී හරින් පීරිස්, රනිල් වික්‍රමසිංහ මහතා ව හඳුන්වන ලද්දේ “රනිල් ලොක්කා” යනුවෙනි. එහෙත් මහින්ද පාර්ශ්වයේ කිසිවෙක් ප්‍රසිද්ධ වේදිකාවේ තම නායකයා මහින්ද ලොක්කා යැයි කියනු අප අසා ඇත්ද?

වැඩ කළ වුන්‌ගේ සංයමය..

සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම ‌හෝ ඊටත් වඩා මෙම රජය තුළ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ කිහිප දෙනෙක්මම සිටිති. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, පාඨලී චම්පික රණවක මහතා, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, ඒ අතර කැපී පෙනේ. ඔවුන් සියලු දෙනාම තමන්ට බාර දුන් අමාත්‍යාංශවල බොහෝ වැඩ කටයුතු මෙන්ම, පක්ෂය, පාක්ෂිකයා හා රජය බේරා ගැනීම සඳහා ද විශාල වැඩ කොටසක් ඉටු කළවුන් වෙති.

එහෙත් ඔවුන් කිසි දිනෙක නායකයා හා පක්ෂය අභිබවා කටයුතු කරන්නේ නැත. ඒ වූ කලී ඔවුන් ලබා ඇති සංයමයයි.

ඒ අතින් බලන විට සජිත් කිසි දිනෙක පක්ෂය ගැටළුවලට මුහුණ පෑ අවස්ථාවල පක්ෂය වෙනුවෙන් පෙනී සිට නැත. එමෙන්ම යම් ජාතික උත්සවයක් රජය විසින් සංවිධානය කරන විට ඊට සහභාගි වී නැත. මේ වුකලී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවීමට පෙර අඩු තරමින් රජයේ ජාතික නිදහස් දින උත්සවයකටවත් සහභාගි නොවීම හා සැසඳිය හැකිය…

ගෞරවණීය මිනිසා කරු..

එහෙත් පක්ෂය හා රජය මෙන්ම නායකත්වය ආරක්ෂා කිරීමට සැමටම වඩා අති දැවැන්ත වැඩ කොටසක් ඉටු කරන ලද්දේ කතානායක කරු ජයසුරිය මහතායි. පසුගිය ඔක්තෝබර් මස 26 දින දේශපාලන කුමන්ත්‍රණයට කතානායකවරයා මුහුණ දුන් ආකාරය ගෞරවණීය ය. එමෙන්ම පසුගිය සතියේ සජිත් පක්ෂයේ බහුතරයක් සමග කුරුණෑගල ගොස් පක්ෂයේ අනුමැතියෙන් තොරව මහජන රැළි පවත්වද්දී රජය වැටෙන්නට තිබු අවස්ථාව මග හැර එය රැක ගත්තේ කතානායකවරයා විසිනි.

සැබවින්ම මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමිවිය යුත්තේ කාටදැයි කවුරුන් හෝ ඇසුවහොත් මා දෙන්නේ එකම උත්තරයකි.

කරු තරම් සුදුස්සෙක් තවත් නැත..

සුදුසුම කෙනා වෙනින් කවුරුවත් නොව දේශබන්දු කරු ජයසුරිය මහතා ම බවයි.

අපේ රටේ සමස්ත ජනතාවගේ ගෞරවාදරය දිනා ගත හැකි එකම නායකයා ඔහු ම බව මගේ අදහසයි…

කරු ජයසුරිය මහතා හමුදා නිලධාරියෙකි. ඔහු හමුදා නිලධාරියෙක් වුවද, සාමාන්‍ය ජීවිතයේ සෑම අවස්ථාවකම ජාතික ඇඳුම ඇන්දේය. නිදහස ලැබීමෙන් පසුව වුවද, ඇතැම් හමුදා නිලධාරින් සුද්දන් අනුගමනය කරමින් හවස් වරුවේ කොටකළිසම්, සපත්තු පැළඳ ටෙනිස් ගහන විට කරු ජයසුරිය මහතා සුදු පැහැති ජාතික ඇඳුම ඇඳ මල් පූජා කිරීමට නොකඩවා විහාරයට ගියේය. ඇතැම් නිලධාරින් ඒ ගැන දොස් කියද්දී පවා ඔහු තම පිළිවෙත අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේය.

කරු ජයසුරිය මහතා තරම් 2020 ජනාධිපතිවරණයට සුදුස්සෙක් තවත් ඇතැයි මට සිතෙන්නේ නැත්තේ ඔහු සැබවින්ම ප්‍රතාපවත් දේශපාලනඥයෙක් වන නිසා ය.

අද අපේ රටේ සිටින ප්‍රතාපවත් ම දේශපාලන නායකයා කතානායක කරු ජයසුරිය මහතා බව කිව යුතු නැත.

-සල්පිටියේ ධම්මදස්සි හිමි විසිනි-LEN-

RSL

Related Posts