රනිල්-සජිත් අතර අවසන් සාකච්ඡාව තව පැය කිහිපයකින්

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(10) දිනයේ තව පැය කිහිපයකින් පැවැත්වීමට නියමිතව තිබේ.

අද රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්ව සාකච්ඡා කොට අවසන් තීරණයක් ගත යුතු බවට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී යෝජනා විය. අදාළ සාකච්ඡාව පසුගිය ඉරුදින පැවැත්වීමට නියමිතව තිබුණ ද පසුව එය අද දිනය දක්වා කල් දමනු ලැබීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(09) යාපනයේදී පවත්වා තිබේ.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇති බව වාර්තා වෙයි.

පෞද්ගලික හෝටලයක පැවති මෙම සාකච්ඡාවේ දී ඉදිරි ජනාධිපතිවරණය හා මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් වෙයි.

එම්.ඒ.සුමන්තිරන්, ටී.සිද්ධාර්තන්, ඊ.සරවනබවන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ යාපනය නගරාධිපතිවරයා ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ. මේ අතර අද දිනයේ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වෙන සාකච්ඡාවේ දී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පවතින ගැටළුව සමතයකට පත්වනු ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

පක්ෂයේ නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් නියෝජ්‍ය නායකයා ඉදිරිපත්වීම පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන්ව පවතින බව අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේය.

RSL

Related Posts