පාස්කු ප්‍රහාරය වළක්වන්න ක්‍රියානොකළ පොලිස් ලොක්කන්ට එරෙහිව නීතිපතිගෙන් දැඩි පියවරක්!

Spread the love

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප‍්‍රහාරය වළක්වා ගැනීමට සහ එම ප‍්‍රහාරවල බලපෑම් අවම කර ගැනීමට නිසි පියවර නොගත් කොළඹ දිසාව හා වයඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාට හා විශේෂ ආරක්‍ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නවදෙනකුට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙසට හා විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (20) පස්වරුවේ වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් ලබා දී තිබේ.

එකී ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල කමිටුව විසින් කරන ලද නිර්දේශ අනුව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා වෙත එලෙස ලිඛිතව උපදෙස් ලබා දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප‍්‍රකාශ කළාය.

ඒ අනුව කොළඹ හා වයඹ දිසා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අමතරව විශේෂ ආරක්‍ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙන්ම මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාටත්, කොළඹ උතුර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාටත්, මීගමුව අංක 3 හා 4 කොට්ඨාස සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනාටත්, කටාන හා ජම්පටාවීදිය පොලිස් ස්ථානාධිපතිවරයාටත් එරෙහිව විමර්ශන සිදු කිරීමට නියමිතය.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් සිදුකරන පරීක්‍ෂණ සඳහා ද ජනාධිපති ත‍්‍රිපුද්ගල කමිටුව විසින් නිකුත් කළ නිර්දේශ වාර්තා උපයෝගී කර ගන්නා ලෙසට ද නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් උපදෙස් දී ඇත.