ඝෝෂාකාරී නාද රටා සහිත නලා සවිකළ රථ වාහන වැටලීමට ජනපතිගෙන් නියෝග

Spread the love

ශබ්ද දූෂණය ඇති කරන අධි ඝෝෂාකාරි හෝන් පාලනයට දැඩි නීති රීති හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙන අතර ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් කි‍්‍රයාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් නිකුත් කෙරේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) ආරක්ෂක අමාත්‍යාංශයේ  පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳ උපදෙස් ලබා දෙනු ලැබිය.

පරිසර දුෂණයේ අංගයක් වන ශබ්ද දුෂණය මැඩැලීමටත් අනාගතයේ දී සංවර්ධිත විනය ගරුක රටක් බිහිකිරීමට කෙටි කාලීන හා දිර්ඝ කාලිනව ගතයුතු තීන්දු තීරණ පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

රථවාහන නීති උල්ලංඝනය සහ ඩෙසිබල් 105 ට වඩා වැඩි නළා සඳහා අවශ්‍ය නීති කි‍්‍රයාත්මක කිරීමට ලංකාවේ සියලූම පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් මෙහිදී රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැනුම් දෙනු ලැබිය.

මීට අමතරව රටේ සියලූම පාසල් සිසුන්, සියලූම මගීන් සහ රියදුරන් සම්බන්ධ කරගනිමින් නිශ්ශබ්දතා දිනයක් ප‍්‍රකාශයට පත්කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. මෙම සාකච්ඡාවේ විශේෂත්වය වනුයේ මේ සඳහා පැමිණි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සියල්ලම සහ සියලූම ආයතන නීති රීති කි‍්‍රයාත්මක කිරීමට එකඟතාවය පළ කිරීමයි.