තාත්තා අහිමිවීමෙන් මට මුළු ලෝකයම නැතිවුණා මියගිය බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිගේ දියණිය කියයි

Spread the love

‘‘පෙබරවාරි 23 දා රාත‍්‍රියේ නිවසට පැමිණි තාත්තා 24 දා අළුයම 3.00 ට විශේෂ රාජකාරියකට යන්න තියනවා කියා අම්මා ලවා කෑම උයවාගෙන වේලා සණින් කාලා නිදා ගත්තා. රාත‍්‍රියේ අම්මා තේ හදල දීලා නිදියගෙන තිබෙනවා. අපි නිදියගෙන ඉද්දීම රාත‍්‍රී 2.30 ට විතර තාත්තා දොරත් වසාගෙන ගිහිල්ලා. එහෙම ගියපු තාත්තා එදින රිය අනතුරකට ලක්වී මාර්තු 9 වැනිදා මියයාම මට විතරක් නොවෙයි අපේ පවුලේ කාටත් මුළු ලෝකයම නැතිවුණා වගේ යැයි රිය අනතුරකට ලක්ව මියගිය බොරැුල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අභාවයෙන් කම්පිතව සිටි දියණිය සචී දෙව්මිණි සරත්චන්ද්‍ර (16) ශිෂ්‍යාව පැවැසුවාය.

ඉකුත් 24 දා අළුයම බම්බලපිටිය බෞද්ධාලෝක මාවත ආරම්භ වන ස්ථානයේදී ඩිපෙන්ඩර් රථයක ගැටී බරපතල තුවාල සහිතව සරත්චන්ද්‍ර මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. ඒ පිළිබඳ සචී දෙව්මිණි දියණිය මෙසේ අදහස් ප‍්‍රකාශ කළාය.

‘‘එදා රාත‍්‍රී නිවසින් යන්න කලින් තාත්තා මගේ ලොකු අයියා සමග ගොඩක්වෙලා හිනා වෙවී කථාකරමින් ඉඳල තියෙනවා. 24 දා උදේ 7.00 ට විතර බොරැුල්ල පොලිසියෙන් මේ අනතුර ගැන අයියාට කථා කරල කීවා. ඒ සමගම පොලිස් නිලධාරීන් දෙදෙනකු සමග පැමිණි රථයෙන් අපි රෝහලට ගියා. ඒ යන විට තාත්තාගේ ඔලූව රෙදිවලින් ඔතා තිබුණා. කකුල් දෙකත් ලොකුවට තුවාල වී තිබුණා. අපි දැක්කේ තාත්තාට ඒ වනවිටත් සිහිනැතුව වගෙයි කියලයි. අපි ඊට පසුව වරින්වර රෝහලට ගියත් තාත්තා සමග කථා කරන්න බැරිවුණා.

මාර්තු 9 දින සවස 3.00 ට විතර තාත්තාගේ හෘද ස්පන්දනය නැතිවෙලා. වෛද්‍යවරු එය නැවත යථාතත්ත්වයට පත්කර තිබෙනවා. වකුගඩු දෙකම නරක්වී ඇති බවත් වෛද්‍යවරු කීවා. එදාත් අපි කවුරුත් රෝහලට ගියා. වෙනදා අපිත් එක්ක කථා කරකර හිටිය හෙද නිලධාරින් එදා අපි දිහා බැලූවේ නෑ. අපිට පිටුපාලයි හිටියේ. අපි දැනගත්තා තාත්තා නැතිවෙලා කියලා.

පොලිස් පරීක්‍ෂක සරත්චන්ද්‍ර මහතාගේ මවද මේ පිළිබඳ අදහස් පළ කළේ හැඬූ කඳුළින් යුතුවයි. විශ‍්‍රාමික උප තැපැල් ස්ථානාධිපතිනියක වූ ඩබ්. කරුණා වන එම මහත්මියද මෙසේ පැවැසීය.

‘‘ අපේ ගම හිඟුරක්ගොඩ මැදිරිගිරිය. 1967 ජුනි 08 වැනිදායි මේ පුතා ලැබුණේ. පුතා ඉගෙන ගත්තේ මින්නේරිය මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් යද්දී කැඩෙට් නිලධාරියකු ලෙස හිටියා. උසස් පෙළ විභාගයෙන් පස්සේ 1985 දී පුතා දෙවෙනි ලූතිනන් වරයෙක් ලෙස යුද හමුදා සේවයට බැඳුනා. එහි වසරක් සේවය කිරීමෙන් පස්සෙ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් විදිහට පොලිස් සේවයට බැඳුනා.

මින්නේරිය, හිඟුරක්ගොඩ, කොටුව යන පොලිස් ස්ථානවල සේවය කරමින් ඉඳලා බොරැුල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති වෙලා හිටියේ මාස දෙකයි. මිය යද්දී පුතාගේ වයස අවුරුදු 51 යි. මගේ මේ පුතාට එක දියණියක් හා පුතාලා දෙන්නෙක් ඉන්නවා. 1991 දී මගේ පුතා විවාහ වුණේ හිඟුරක්ගොඩ අනෝමා පි‍්‍රයදර්ශනී මෙනෙවිය සමගයි.

පුතා මාව බලන්න මාසෙකට වරක් එනවා. අන්තිමට ආවේ ජනවාරි 23 දා. මම රෝහලට එක්කන් ගිහින් බේත් අරන් දුන්නා. ආපහු කොළඹ ආවේ මට වැඳලයි. ඒ වෙලාවේ කීවා නැවත පෙබරවාරි 27 අම්මා බලන්න හිඟුරක්ගොඩ එනවා කියලා. නමුත් ඊට කලින් මේ අනතුර සිදුවුණා.

මම කියන්නේ මේ වගේ දුකක් විපතක් කිසිම කෙනෙකුට සිද්ධ වෙන්න එපා කියලයි. පොලිස් නිලධාරියකුට මේ වගේ සිදුවුණා නම් සාමාන්‍ය පුරවැසියෙකුට කෙසේ සිදුවේද කියා හිතාගන්න පුළුවන්. අවිනීත ලෙස රිය පදවන අයට දඬුවම් දැඩි කළ යුතුයි. පවුලක් විතරක් නොවෙයි පවුලට සම්බන්ධ සියලූ ඥාති පරපුර මේ අනතුරින් අනාථ වුණා යැයි සරත්චන්ද්‍ර මහතාගේ මව පැවසුවේ දරාගත නොහැකි ශෝකයෙන් යුතුවයි.

රිය අනතුරකින් සිදුවූ තවත් එක් ඛේදවාචකයක් මිනිස් සිත් සතන් තුළ සනිටුහන් කරමින් අභාවප‍්‍රාප්ත පොලිස් ස්ථානාධිපති ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු මාර්තු 11 දා (අද) පස්වරුවේ බොරැුල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

RSL

Related Posts