රනිල්ගෙන් මෛත්‍රීට හයිබ්‍රිඩ් ප්‍රහාරයක්! මෛත්‍රී වෙනුවෙන් සෙබළෙක් වත් නැති හැඩ!
- RSL
- October 24, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, President Maithripala Sirisena, Prime Minister Ranil Wickramasinghe, Ranil Wickeramasinghe, United National Party, UNP
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරන්තර ප්‍රහාරයට ලක්වන එක්සත් ජාතික පක්ෂය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය යටතේ තීරණයකට පසුගියදා එළඹ ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම නායක රනිල් වික්‍රමසිංහගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු මෙම තීන්දුවට පැමිණ තිබේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ හමුවූ එජාපයේ පසුපෙළ සහ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ, “මොකක්ද සර් මේකේ තේරුම, ජනාධිපතිතුමා ගිය ඡන්දය වෙලාවෙත් අපිට ඇරියා. සර් අපේ කටවල් වැහුවා. දැන් ආයේත් අපේ අම්මා අප්පා වගේ වෙච්ච පක්ෂ නායතුමන්ටයි, පක්ෂයටයි ගරහනවා. අපි කොහොමද ගමට ගිහින් අපේ පාක්ෂිකයින්ට කටක් ඇරලා කියන්නේ මේ අපේ ආණ්ඩුවක් කියලා ජනාධිපතිතුමා මේ විදියට ගහනකොට. සර්ට තේරෙන්නේ නැද්ද මේ මෙයා අපෙන් ඇවිත් අපිටම අරින්න එන්නේ කියලා”. කෙසේ වෙතත් ඊට ඉතා සාවදානව ඇහුම්කන් දී එජාප නායක රනිල්, “ඔයාලා කලබල වෙලා මුකුත් නොකිය සද්ද නැතුව ඉන්න. ඕකට උත්තර දෙන්න ඕනි විදිය මම හදන්නම්.” යනුවෙන් ඉතා ගැඹුරු මුහුණින් යුතුව පවසා ඇත.
ඒ අනුව තමාට සහ එජාපයට දුර තියා අරින්න ගත් මෛත්‍රීට ලඟ නමා අරින ක්‍රමයේ සැලැස්මක් එජාප නායකයා සැලැසුම් කොට මේ වන විට ක්‍රියාවේ යොදවා ඇති බව පෙනේ. නායක රනිල් වික්‍රමසිංහගේ මෙම සැලසුමට අනුව ජනාධිපති මෛත්‍රීගේ ගැරහුම් ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් යොදා ගැනීමට රනිල් උපායශීලි වී ඇත්තේ, මෙම ප්‍රහාරය හමුවේ මෛත්‍රීගෙන් එන ඊලඟ චෝදනාව සහ එය ඔහු තම දේශපාලන වාසියට යොදාගන්නා ආකාරය දන්නා නිසාවෙනි. මෙම නිසාම රනිල් විසින් තමා ලඟ සිටින දෙමුහුම් (හයිබ්‍රිඩ්) කාණ්ඩයට වැටෙන එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් යොදාගෙන ඇත. ඒ අනුව දොස්තර රාජිත සේනාරත්න විවේචනාත්මක මධ්‍යස්ථ ප්‍රහාරකයෙකු ලෙසත්, මහින්ද සමරසිංහ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි ශ්‍රීලනිපයෙන් එජාපෙට පැමිණි සහ ජනාධිපතියාගේ කෙනෙහිලි කම්වලට ලක්වූ අය මෙහි ඉදිරි පෙළට යොදාගෙන ඇත. මීට අවශ්‍ය සැලැසුම් සහ මඟපෙන්වීම් සඳහා මලික් සමරවික්‍රම, මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල යන අයට පවරා ඇතැයිද වාර්තාවේ.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පෙරමුණින් ජනාධිපති මෛත්‍රීට එල්ලවන මෙම ප්‍රතිප්‍රහාරවලට අවම තරමින් ‘ජොනි බට්ටෙක්’වත් එහා පැත්තට විසි කිරීමට මෛත්‍රී වෙනුවෙන් සෙබළෙක් වත් නොමැති බවක් පෙනී යයි. මෙය පිටත සිට බලන ප්‍රේක්ෂකයාට පෙනෙනුයේ මෛත්‍රී එහා පැත්තට ගලක් ගසා එහා පැත්තෙන් ගල්වරුසාවක් කන අන්දමේ ඉල්ලන් කෑමකි.

