මහින්දගේ ආණ්ඩු පෙරළීම හෙවත් පොහොයෙන් පොහොය ගෙවා ගසමින් යන රස්තියාදුව

Spread the love

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එම වසරේම මහ මැතිවරණයෙන්ද පරාජයට පත්ව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා සිට යන පන්සලක් ගානේත්, අල්ලන මයික්‍රෆෝනයක් ගානේත් කියාගෙන ගිය “මේ ආණ්ඩුව තව පොහොය කිහිපයයි; ඊලඟ පොහොයේදී අපි ආණ්ඩුව පෙරලනවා” සටන් පාඨය මහින්ද ඔහුගේම වචනවලින් අමු කෙප්පය බවට පත්කොට හමාරය.

“අද රටේ තියෙන ආර්ථික අර්බුදය වෙනුවෙන් අපි මේ වන විට විද්වත් කමිටු පිහිටුවලා තිබෙනවා. මේ ආණ්ඩුව පෙරළා දමීමට සියලු පෙරමුණු එකතු වෙලයි ඉන්නේ. ඒකාබද්ධ විපක්‍ෂයත් ඊට සූදානම්. එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු කාලය දේශපාලනයේ තීරණාත්මක කාලයක් බවට පත්වේවි.” මහින්ද පසුගිය 22 වනදා පවසා තිබුණේ එසේය.

එදා ඔහු පොහොයෙන්, පොහොය තමා වටා සිටින ආධාර කරුවන් ඇතුළු නඩය තමා වටා රඳවා ගැනීමට මානසික අල්ලසක් ලෙස වත්මන් ආණ්ඩුව කුමන හෝ ක්‍රමයකින් පෙරළා දමා තමාගේ ආණ්ඩුවක් එන බවට බලාපොරොත්තු දෙමින් රැගෙන ගියහ. මහින්ද තමාට සහ පවුලේ අයට නඩු හිරවෙන විට, ප්‍රශ්න කරන විට එම පරීක්ෂණ සිදුකරන නිලධාරීන් බිය ගැන්වීමට “ජන බලයක්” හෝ “සුලඟක්” සමඟ මදක් නැගිට කෑ ගසා පෙන්වීය. එහෙත් මේ වන විට වසර තුනකටත් එහා මහින්ද තම නඩය කැටුව රට වටේ රස්තියාදු ගැසුවා පමණි.

ඇතුලේ තත්වය මදක් අවුල් සහගත වන විට 2020 පෙන්වා තමා වෙනුවට ගෝඨාභය පස්සේ දිවීමට තවත් පිරිසක් පුහුණු කළහ. ගෝඨාට අකමැති එහෙත් වෙලාවේ හැටියට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන යන්න කැමැති අයට බැසිල් යෙදවීය. මහින්දට, ගෝඨාභයට, බැසිල්ට 2020 ජනාධිපතිවරණයට එන්න කොහෙත්ම බැහැ කියන පිරිසට චමල් පෙන්වීය. මහින්ද සහ රාජපක්ෂ පවුල රජකම් කළ සමයේ සිදුකල කළකම් පලදීම පටන් ගත් විට තම දරුවන් ඇතුළු පවුලේ අයවලුන් බේරාගැනීමට මහින්දට අකමැත්තෙන් වුවද රස්තියාදු ගැසීමට සිදු වූයේ මෙනිසාය. ඒ නැතිනම් මහින්ද කලක් මැදමූලනට වී නිසොල්මනේ, කතරගම වන්දනාවේ ගොස් එන බැතිමතුන්ට මැදමූලන තවත් එක් සංවේගාත්මක මෙන්ම ගෞරවාදරයට පාත්‍රවන සංචාරක ස්ථානයක් කරගනිමින් වාසය කළේය.

එහෙත් කළ පව් වලින් තමාට බේරී සිටීමට හැකි වුවත්, තම පවුලට සහ සහචරයින්ට ඉන් බේරී මිදී සිටීම පහසු කටයුත්තක් නොවන බව අවබෝධකර ගත් 70 හැවිරිදි වියත් ඉක්මවූ මහින්දට බැරි මරගාතයේ හෝ ගැලේ බැදි ගොනා වීමට සිදුවිය.

මේ නිසාම මහින්දට අදටත් තමාගේ ඉදිරි නිශ්චිත දේශපාලන ඉලක්කයක් රහිතව, ගැල් බඳින ලද පිරිස් පදවන (දක්කනා) දෙසකට යමින් අගමැතිකම දෙනවා නම් ඒක ගන්නම්, නැත්නම් ජනාධිපතිකම ගන්නම් කියමින් පොහොය පන්නමින්, කල්මැරීමට සිදුව ඇත.

ඇත්තටම අද මහින්දට සිදුව ඇත්තේ, ජනාධිපති සිරිසේනගේ හෝ අගමැති රනිල්ගේ වචනයක් හෝ ඉඟියක් විශ්වාස කරමින් අද-හෙට වැටෙයි, පෙරළෙයි කියමින් තමාත් රස්තියාදු වෙමින් තමා පසුපස තමාට වහලුන් වූ අනුගාමිකයින්ද රස්තියාදු කිරීම පමණි.

-හසිත මානන්දුව-

RSL

Related Posts