“රටකට ඕනෑ අපමණ අගයක්” කියලා ආපු ආණ්ඩුව දැන් කිරි දරුවෝ ඉන්න අම්මලත් රට පටවන්නයි සූදානම

Spread the love

“රටකට ඕනෑ අපමණ අගයක්” යැයි කියා බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට කිරි දරුවන් ඉන්න අම්මලා පවා මැදපෙරදිග වහල් සේවයට පැටවීමේ සූදනාමක් පවතින බවත් මේ වනවිට ඊට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එතෙර අපි සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හෙළි කරයි.

පසුගිය කාලයේ කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී පවුල් වාර්තාවක් ලබා ගත් බවත් ඒ නිසා කිරි බොන වයසේ පසුවන දරුවන් සිටින මව්වරු විදේශ ගතවීම වැලකී ගිය බවත් එමෙන්ම මව විදේශගත වීමෙන් දරුවන් විවිධ අපචාර සඳහා යොමුවීමේ සහ භාජනය වීමේ ප්‍රවනතාවය අඩු වූ බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ ය.

කෙසේ නමුත් මේ වනවිට එම පවුල් වාර්තාව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බවත් ඒ මහතා හෙළිදරව් කළේ ය.

විශේෂයෙන් හෙද හෙදියන්, කාර්මික ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් ආදී ලෙස පුහුණු ශ්‍රමිකයන් සඳහා විදේශයන්හි වැඩි ඉල්ලුමක් පවතින බවත් ඒ හරහා රටට වැඩි විදේශ විනිමයක් ලබා ගත හැකි නමුත් එලෙස පුහුණු ශ්‍රමිකයන් යොමු කිරිමේ කිසිඳු වැඩපිළිවෙලක් මෙම ආණ්ඩුවට නැති බවත් අවධාරණය කළේ ය.

හමුදා සේවයේ අවුරුදු 22ක් වැනි කාලයක් සේවය කර විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන් අතර කාර්මික හා තාක්ෂණික ශිල්පය හැදෑරු අය සිටින බවත් ඔවුන්ට විදේශයන්හි ඇති ඉල්ලුම සලකා බලා ඔවුන්ට ඒ සඳහා සුදුසුකම් ඇති බවට සහතිකයක් නිකුත් කරන ලෙස එතෙර අපි සංවිධානය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතත් ‍එය මෙතෙක් ඉටු කර නැති බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කළේ ය.

එවැනි සුදුසුකම් සහතිකයන් ඔවුන්ට ලබා දෙන්නේනම් ඔවුන් රටට වැඩි විදේශවිනිමයක් උපයා දෙනු ඇති බවත් අවධාරණය කළේය.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළ අතර එම අවස්තාවට එතෙර අපි සංවිධානයේ ලේකම්, නීතීඥ ජානක අධිකාරී මහතා සහ එහි ජාතික සංවිධායක සංජීව මුණසිංහ මහතාද එක්වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා…

“විදේශ රැකියා අමාත්‍යාංශයත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අද අරාජික ආයතන බවට පත්වෙලා. ආණ්ඩුවේ බල අරගලය නිසා ඇමතිවරයාගේ පුටුව නියෝජ්‍ය ඇමතිවරයා අත්පත්කරගෙන. අමාත්‍යාංශයේ බිල්ඩිම තියෙන්නේ නියෝජ්‍ය ඇමතිගේ භාරයේ. ඇමතිවරයාගේ කටයුත්ත හරියට කෙරෙනවාද කියලා සැකයක් තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය් සභාපති ඉල්ලා අස්වෙලා. සභාපතිගේ වැඩ බලන්නේ අධ්‍යක්‍ෂවරයෙක්. මේ තත්වයන් තුළ එම ආයතනවලින් අවශ්‍ය කටයුතු නොකෙරෙන තත්වයක් ඇතිවෙලා තිබෙනවා.

මේ දිනවල විශේෂ මාතෘකාවක් බවට පත්වෙලා තිබෙන්නේ කාන්තාවන් විදේශගතවන විට සකස් කරන පවුල් වාර්තාව අහෝසි කරන්න ආණ්ඩුව සූදානම් වන එක. එම පවුල් වාර්තාව ග‍්‍රාමසේවකගේ මැදිහත්වීමෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සකස් කොට අනුමැතිය ලබාගන්නවා. අවුරුදු පහට අඩු දරුවන් සිටීම, විදේශ රටකට රැකියාව සඳහා යාමට සුදුසුද යන්න පිළිබඳව එම වාර්තාවේ විස්තර අඩංගු වෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවසර ලබාදෙන්නේ එම වාර්තාවට අනුවයි. මෙම පවුල් වාර්තාව නිසා කිරි දරුවන් සිටින අම්මලා විදෙස්ගතවීම වැළකුණා. පවුල් ආරවුල් ඇතිවීම වැළකුණා. නමුත් රටකට ඕනෑ අපමණ අගයක් කියලා හදපු ආණ්ඩුව කිරි දරුවන්ට අම්මලාගේ අගය නැතිකරන විදිහේ නීති සම්පාදනය කරනවා. පවුල් වාර්තාව අහෝසි කරලා ඕනෑම කාන්තාවක් රට යවන්න තැරැව්කරුවන්ට හා ඒජන්සිකරුවන්ට ඉඩ හදලා දෙන්නයි විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරමින් ඉන්නේ. රටකට අපමණ අගයක් ඕනෑ කියන නායකයින් කිරි දරුවන් ඉන්න අම්මලා රට යවන්න හදන ප‍්‍රතිපත්තිය මොකක්ද? කිිරි අම්මලා රට යවලා හදන ආර්ථිකය මොකක්ද? සිංගප්පූරු ගිවිසුම අත්සන් කරලා පිටරට මෑන් පවර් කොම්පැණිවලට පවා මෙරටට එන්න ඉඩ හදන ආණ්ඩුව අපේ රටේ කිරි දෙන මව්වරුන් පවා රට යවන්න හදනවා.

මේවා සිදුවෙන්නේ ඒජන්සිකරුවන්ගේ බලපෑම්වලට අනුවයි. ඩිලාන් පෙරේරා ඇමතිවරයාව සිටියදී ඒජන්සිකරුවන්ගෙන් මුදල් අරගෙන විවිධ පදනම් හදලා විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් විනාශ කරලා දැම්මා. වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුත් කටයුතු කරමින් ඉන්නේ ඒ ආකාරයටමයි. විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් කාන්තාවන් විශාල ආර්ථික පීඩනයක ඉන්නවා. ඔවුන් විවිධ තැරැව්කරුවන් හරහා රැකියා ඒජන්සි හරහා කිසිදු පදනමකින් තොරව රට පැටවීමට තමයි පවුල් වාර්තාව අහෝසි කරන්න හදන්නේ. එමගින් පවුල් ඒකක කුඩු පට්ටම් වෙලා ස්වාමිපුරුෂයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා, දරුවන් අනාත වෙලා යන්න ඉඩ හැදෙනවා. ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ නූතන වහල් සේවයක් හදන්නයි. පවුල් වාර්තාව අහෝසි කිරීමට එරෙහිව ළමා කාන්තා කටයුතු ඇමතිනී, බුද්ධ ශාසන ඇමතිවරයා, අධිකරණ ඇමතිනී (හිටපු විදේශ සේවා ඇමතිනී) කැබිනට් එකේ අදහස් පළ කළා කියලා වාර්තා වෙනවා. නමුත් අපි කියන්නේ කැබිනට් එක විදිහටම මෙම ක්‍රියාමාර්ගයට එරෙහි විය යුතුයි කියලා. පවුල් විනාශ කරලා රටට ලැබෙන විදේශ විනිමය ගැන පමණක් හිතන එක රටකට ඕනෑ අපමණ අගයක් කියන පාඨයට ගැලපෙන්නේ නැහැ.

අපි බොහෝ අවස්ථාවල අවධාරණය කොට තිබෙනවා වෘත්තීයමය නිපුණත්වය සහිතව රැකියාවලට ශ්‍රී ලාංකිකයින් යැවිය යුතුයි කියලා. නූතන වහල් සේවය වෙනුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වෙලා වෘත්තීයමය හැකියාව තිබෙන හෙදියන්, විදෙස්ගත කළ හැකියි. ඔවුන්ට විශේෂ ඉල්ලුමක් තිබෙනවා. විශේෂ පුහුණුවක් ලබාදීලා සහතිකයක් ලබාදීලා වෙනම බඳවාගැනීම්කරලා හෙදියන් විදෙස්ගත කළ හැකියි. ඒ වගේම හමුදා සේවයෙන් විශ‍්‍රාම ගිය තාක්‍ෂණික, කාර්මික ආදී පාඨමාලාවන් හදාරපු රැකියා නිපුණතාවයන් සහිත නිලධාරීන් විදේශ රැකියාවලට යැවිය හැකියි. ඒ වෙනුවෙන් ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ට විශේෂ සහතිකයක් නිකුත් කිරීම පමණයි. එසේ කළහොත් දැන් ලැබෙන වැටුපට වඩා වැඩි වැටුපක් ලබාගත හැකියි. මේ වනවිට ඉන්දියාව වැනි රටවල් එය ක්‍රියාත්මක කරනවා. වෙනත් රටවල එවැනි හැකියාවන් තිබෙන පුද්ගලයින් ලබාගන්නා වැටුපට වඩා ඉතා අඩු වැටුපක් තමයි අපේ රටෙන් යන හමුදා සේවයේ හිටපු නිලධාරීන් ලබාගන්නේ. ආණ්ඩුවට ඉතාම පහසුවෙන් කළ හැකි දේවල් ගැන අවධානයක් යොමුවෙලා නැහැ. අද හමුදා සේවයෙන් විශ‍්‍රාම ගිය පුද්ගලයින් බැංකු කඩන, මංකොල්ල කන, විවිධ අපරාධවලට මැදිහත්වන තත්වයක් තිබෙනවා. ඒවා අඩු කරගන්නත් ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. හමුදා සේවයේ සිටි නිසා ඔවුන්ට මැදපෙරදිග වැනි රටක රැකියා කිරීමද අපහසු දෙයක් නොවෙයි. ඒ වගේම උසස් පෙළ සමත් විශාල පිරිසක් රැකියා නැතිව විවිධ ගැටළුවලට මුහුණ දෙනවා. ඔවුන්ට පුහුණුවක් ලබාදී ඩිප්ලෝමා සහතිකයක් නිකුත්කර ආණ්ඩුවෙන් ලබාදෙන එන්.වී.කිව්. සහතියක් සමග විදේශ රැකියා සඳහා අවස්ථා හදන්න හැකියාව තිබියදී ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ.

ආණ්ඩුවේ ඇමතිවරුන්ට ඕනෑ වෙලා තිබෙන්නේ ඒජන්සිකරුවන්ගෙන් ලැබෙන කොමිස් මුදල පමණයි. ඒ වෙනුවට මොළය පාවිච්චි කරලා ටිකක් මහන්සි වෙලා වැඩක් කරන්න කැමති නැහැ. විදේශ සේවා අමාත්‍යාංශය මැදිහත් වුණොත් අපේ රටට වෘත්තීමය ගෞරවයක් සහිතව, අභිමානයක් සහිතව විදේශ රැකියාවලට ශ්‍රී ලාංකිකයින් යවන්න පුළුවන්. ඒජන්සිකරුවන්ගේ මුදලට යට වෙලා අපේ රටේ කිරි මව්වරුන් රට පටවන එක ගැන ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි.

කටාර් රාජ්‍යයේ ඉදිකිරීම් කටයුතුවලට පිරිමි ශ‍්‍රමිකයින්ට විශාල ඉල්ලුමක් ලැබිලා තිබෙනවා. මෙතෙක් තිබුණු නීතිය තමයි විදේශ රැකියා නියෝජිත ආයතන කටාර් රාජ්‍යයේ අනුමැතිය සහිතව අපේ රටෙන් විදේශ ශ‍්‍රමිකයින් ඉල්ලා සිටිනවා. ඒ අනුව අපේ රටේ රැකියා නියෝජිතයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් තානාපති කාර්යාලයත් ඒකාබද්ධ වෙලා අවශ්‍ය පිරිස විදෙස්ගත කරනවා. ඊට පෙර තානාපති කාර්යාලයේ නියෝජිතයෙක් සේවා ස්ථානය පිළිබඳව නවානැත්, ආහාර, සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙනවා. අපේ රටේ ශ‍්‍රමිකයින් පිළිබඳව තානාපති කාර්යාල වගකීමක් ගන්නවා. එම නීතිය නව චක‍්‍රලේඛයක් මගින් අහෝසි කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් සිටිනවා. ආණ්ඩුව මේ උත්සාහ කරමින් තිබෙන්නේ නැවත වටයකින් වහල් සේවය ක්‍රියාත්මක කරන්නයි. තානාපති කාර්යාලය නොදන්න තැනකට විදේශ රටවල රැකියා නියෝජිතයින් මගින් මෙරට රැකියා නියෝජිතයින්ට පුද්ගලයින් යැවීමට අවස්ථාව හදලා දෙනවා. අපි ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන්නේ ඇයි අපේ රටේ නීති ලිහිල් කරලා වහල් සේවය හදන්නේ කියලා? ඇමතිවරයා ඒජන්සිකරුවන්ගේ මුදලට යටවෙලා වැඩ කරනවා.

මීට අමතරව විදේශ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන ගැටළු ගණනාවක් තිබෙනවා. මැදපෙරදිග අතරමං වන කාන්තාවන්ට තානාපති කාර්යාලයේ ආරක්‍ෂිත නිවහන් තිබෙනවා. නමුත් පිරිමි ශ‍්‍රමිකයින්ට එවැනි ආරක්‍ෂිත නිවහන් නැහැ. ඔවුන්ට බොහෝ වෙලාවට සිදුවන්නේ පොලීසියේ අත්අඩංගුවට පත්වෙලා හිර ගෙවල්වල ගත කිරීමටයි. එසේ නොමැති නම් කාගේ හෝ හිතවතෙකුගේ කාමරයේ ගත කිරීමටයි. නමුත් මේ සියලු දෙනා අපේ රටට විදේශ විනිමය එවන අයයි. නමුත් ආණ්ඩුව ඔවුන් පිළිබඳ සොයා බැලීමක් කරන්නේ නැහැ. විශේෂයෙන් සයිප‍්‍රස් රටට යන සේවකයින්ගෙන් වැටුපෙන් 4%ක් කපාගෙන සමාජ ප‍්‍රතිලාභ අරමුදලක් සකස් කරනවා. එසේ සකස් කරන අරමුදලින් වයස අවුරුදු 65 සම්පූර්ණ වන අයට වැටුපෙන් 80%ක විශ‍්‍රාම මුදලක් ලැබෙනවා. නමුත් එම පුද්ගලයින් වයස සම්පූර්ණ වීමට කලින් ශ්‍රී ලංකාවට පැමිණියහොත් එම විශ‍්‍රාම වැටුප ලබාගැනීමේ හැකියාවක් නැහැ. ආණ්ඩුව සයිප‍්‍රස් රජය සමග ගිවිසුමකට එළඹෙන්නේ නම් එම අරමුදලේ ප‍්‍රතිලාභ ලබාගන්න ශ්‍රී ලාංකිකයින්ට හැකියාව ලැබෙනවා. සිංගප්පූරු ගිවිසුම්, රටේ සම්පත් විකුණන ගිවිසුම් අපේ රටේ රැකියා වෙළඳපොළ බිඳ වට්ටන ගිවිසුම් පැය 24න් අත්සන් කරන ආණ්ඩුව විදේශගත ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් ලබාදෙන ගිවිසුමක් අත්සන් නොකර අවුරුදු ගාණක් කල් මරනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයිනට විශ‍්‍රාම වැටුපක් ලබාදෙන්න 2016 අයවැයෙන් යෝජනාවක් සම්මත කළා. කුවේට් අරමුදලේ බිලියන හතරක් යොදාගෙන එම විශ‍්‍රාම වැටුප සකස් කරන්න ආණ්ඩුව පොරොන්දු වුණා. නමුත් දැන් වසර දෙකක් ගතවෙලත් රුපියල් බිලියන හතරක මුදලක් තිබියදී ආණ්ඩුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. මහ බැංකුවත් විදේශ රැකියා අමාත්‍යාංශයත් බිලියන හතර හිරකරගෙන කඹ අදිමින් ඉන්නවා. ඒ වගේම විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදෙන්න තේරීම් කාරක සභාවක් පත්කළා. මැතිවරණ කොමසාරිස් හිටපු විදේශ ඇමතිනී සහ ජවිපෙ විශාල මැදිහත්වීමක් කරලා හදපු තේරීම් කාරක සභාවට මොකද වුණේ කියලා තොරතුරක් නැහැ. අඩුම තරමේ අතුරු වාර්තාවක් හදන්න බැරිවෙලා තිබෙනව.”

-ලංකා ටෲත්-

RSL

Related Posts