මංගලගේ බදු වෙනසෙන් ඊපීඑෆ් ආදායමට කෝටි 3000ක පාඩුවක්‌!

Spread the love

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් නව බදු වෙනස්‌කම් හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක්‌ සිදුවන බවට මහ බැංකුව විසින් ගණනය කර ඇත.

මේ නිසා මේ වසරේදී (2018) සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාවට ගෙවිය හැකි පොලී ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවද මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දන්වා ඇත.

මහ බැංකු නියෝජ්‍ය අධිපති කේ. ඩී. රණසිංහ මහතා විසින් ඉකුත් මැයි 18 දින මේ බව ලිපියක්‌ මගින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දී තිබේ.

මහ බැංකුව පෙන්වාදී ඇත්තේ රජයේ නව බදු සංශෝධන හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ ඇස්‌තමේන්තු ගත බදු වියදම මේ වසරේ (2018) දී රු. කෝටි 3100 ක්‌ දක්‌වා රුපියල් කෝටි 1300 කින් පමණ වර්ධනය වනු ඇති බවයි. අර්ථසාධක අරමුදල ගිය වසර (2017) වෙනුවෙන් රජයට ගෙවන ලද බදු මුදල රු. කෝටි 1800 කි. සේවක අර්ථසාධක අරමුදල සඳහා අදාළ වන ආදායම් බදු අනුපාතය සියයට 10 සිට 14 දක්‌වා ඉහළ නැංවීම මෙයට හේතුව බවද මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට පෙන්වාදී ඇත.

එසේම රජයේ සුරැකුම්පත් මත ආයෝජන සිදු කිරීමේදී අර්ථසාධක අරමුදල විසින් දැනටමත් රජයට ගෙවා ඇති රඳවා ගැනීමේ බදු මුදල් නැවත අයදුම් කිරීමට ඉඩ නොදීම නිසා සේවක අර්ථසාධක අරමුදලේ ශුද්ධ ආදායම රු. බිලියන 17.5 කින් (රු. කෝටි 1750 කින්) මේ වසරේ (2018) දී අඩුවනු ඇතැයිද මහ බැංකුව ගණනය කර ඇත. මෙසේ රජයට අර්ථසාධක අරමුදල විසින් ගෙවිය යුතු බදු මුදල වැඩිවීමත් එසේම අරමුදලේ ශුද්ධ ආදායම පහත වැටීමත් නිසා රු. කෝටි 3000 ක පමණ පාඩුවක්‌ වන බවද මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතාට දැනුම්දී ඇත.

මේ හේතුවෙන් මේ වසරේදී අර්ථසාධක අරමුදල විසින් සිය සාමාජිකයින්ට ගෙවන පොලී ප්‍රතිශතය සියයට 10.5 සිට 9.0 දක්‌වා සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයිද එම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

RSL

Related Posts