මිලියන-බිලියන ගණන් කප්පම්වලට යට වී ජාතික ආරක්ෂාව අනතුරේ වැටීමේ අවදානමක්!

Spread the love

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ කළ දෙදින සංචාරය තුළදි නීතිවිරෝධී කේබල් නාලිකා ගැන කළ ගවේෂණය හා සම්බන්ධ ලිපියකි.

උතුරේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පසුගියදා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ සංචාරයක නියැලුන අතර එහිදි විශේෂයෙන්ම අප සංවිධානය දිගින් දිගටම අනාවරණය කළ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සොයා බැලිමට හැකියාව ලැබිනි.

උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් හරහා විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව හෙවත් TRCයට විශාල බදු මුදලක් අහිමි වන අතර ඊටත් වඩා ඒ හරහා රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල කරමින් තිබේන බව අප අවස්ථා කිහිපයකදිම පෙන්වා දුන්හ.

මෙරට කේබල් රූපවාහිනි විකාශන මධ්‍යස්‌ථානයක්‌ ඇරඹීමේදී අනුගමනය කළ යුතු නිති රීති පද්ධතියක්‌ තිබේ. ඒ අනුව කේබල් රූපවාහිනි සේවාවක්‌ ආරම්භ කිරීම පිණිස එම ව්‍යාපාරය පළමුව සමාගම් මැඳුරේ ව්‍යාපාරයක්‌ ලෙස ලියාපදිංචි කළ යුතුව ඇත. ඉන් අනතුරුව 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථා පනතේ 31 වන වගන්තිය යටතේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා විසින් 2010/09/03 වන දින නිකුත් කරන ලද අංක 1669/15 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයට අනුව බලපත්‍රයක්‌ ලබා ගත යුතුය.

එම ක්‍රියා පටිපාටිය එතෙකින් නතර වන්නේ නැත. අදාළ බලපත්‍රය ලබා ගැනිමට පෙර ආපසු නොගෙවන පදනම මත රුපියල් 100,000/ ක මුදලක්‌ අයදුම්කරු විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ගෙවීම් කළ යුතු අතර ඉන් අනතුරුව අදාළ අවසර පත්‍රය ලබා දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සන ඊට ඇතුළත් කළ යුතුය.

ඉන් අනතුරුව අදාළ බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර 1991 අංක 25 දරන එම කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව 2006 මාර්තු මස 10 වන දිනැති අංක 1435/20 දරන ගැසට්‌ නිවේදනයට අනුව බලපත්‍රය ලබාගත යුතු අතර අදාළ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊට අත්සන් තැබිය යුතුය. මෙම බලපත්‍රය ලබා ගන්නා තැනැත්තා විසින් රුපියල් 5,000,000/- ක මුදලක්‌ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත ගෙවිය යුතුව ඇත.

උතුරේ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා ආරම්භ විමේ ඉතිහාසය

ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ආරම්භවූයේ ඇන්ටෙනා මාර්ගයෙන් UHF සහ VHF සංඛ්‍යාත ඔස්සේ විසුරුවා හැරීමේ ක්‍රමවේදයයි. ඉන්පසු කේබල් මාර්ගයෙන් නාලිකා ආරම්භ කිරීමට බොහෝ පිරිස් කටයුතු කලහ. ඉන්දියාවෙන් ආරම්භ වූ මෙම ක්‍රමය එලෙසින්ම මෙරටදී විවිධ ස්ථානවල සිට විසුරුවා හැරීමට විවිධ පාර්ශව පියවර ගත්හ. ඒ වෙනකොට රජයෙන් එවැනි දේට කිසිදු නීති රීතියක් පනවා තිබුණේ නැත.

ඉන්දියාවේ විකාශය වන රූපවාහිනී නාලිකාවන් චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාගෙන, නාලිකා 50 – 60 කේබල් මාර්ගයෙන් ජනතාවට ලබාදී ඔවුන්ගෙන් මුදලක් අයකර ගැනීමට බොහෝ පිරිසක් එදත් අදත් කටයුතු කරමින් සිටිති . දමිළ ජනයා වැඩි වශයෙන් වාසය කරන උතුරු නැගෙනහිර පළාතේ ස්ථාන 100 කට වඩා මෙය ව්‍යාපාරයක් ලෙස සිදුකරගෙන යනු ලබයි. කොළඹ දමිළ ජනයා ජීවත්වන ප්‍රදේශයන් හී ආයතන 3 – 4 ක් පමණ ඇතැයි වාර්තා වේ.

2006 දී විදුලි සංදේශ නියාමන කොමිසම මෙවැනි කේබල් රූපවාහිනී නාලිකා ආයතන නියාමනය කිරීම ආරම්භ කල අතර කොළඹ පිහිටි ආයතන 2 කට අනුමැතිය හිමිවිය. රටේ අනෙකුත් ප්‍රදේශවල යුද්ධය හමුවේ මෙම වැඩපිළිවෙල රට අභ්‍යන්තරයට ගෙන යාමට අපහසු විය. 2009 න් පසු එම ප්‍රදේශවලද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ අතර විදුලි සංදේශ නියාමන කොමිසම විසින් නීති විරෝධී කේබල් ආයතනවලට එරෙහිව නීති මගින් ක්‍රියාකිරීමටද කටයුතු කලේය. ඉන්පසු තවත් ආයතනයකට අනුමැතිය හිමිවූ අතර, සමහර පාර්ශව නීතටි විරෝධී ලෙස එම කාර්යය දිගින් දිගටම සිදුකරගෙන යති.

කේබල් ටීවී වලට පාදක වන්නේද යූ එච් එෆ් සහ වී එච් එෆ් ක්‍රමයයි. මෙවැනි නාලිකා 50 ක් පමණ කේබලයක් මාර්ගයෙන් විසුරුවා හැරීමේදී එක් ස්ථානයක සිට මීටර් 250 ක් පමණ දුරට කේබල් මාර්ගයෙන් ගමන් කරයි. ඉන්පසු එතැන් සිට වැඩසටහන් විකාශයට ඇම්පිලිෆයර් සවිකල යුතුය. ඊට විදුලිය ලබාගැනීම කලයුතුය. මෙය පැය 24 පුරා වැඩ කිරීමට මාසයකට රුපියල් 1000 කට අඩු නොවන විදුලි බිලක් ගෙවිය යුතුවේ. එනම් සෑම මීටර් 250 කටම ඇම්පියර් එකක් සවි කල යුතුය. මේ නිසා කේබල් ටී වී දිය හැකි වන්නේ නිවාස වැඩිමනක් ඇති ප්‍රදේශවලටය. උතුරු පළාතේ ඇති එකිනෙකට දුරින් ඇති නිවාස මග හරීමෙන් කේබල් ටීවී පහසුකම දිය හැකි බව පැවසේ.

ලංකාව තුළ කේබල් ටීවී පවත්වාගෙන යාමට විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අනුමැතිය දී ඇත්තේ ආයතන 4 කට පමණි. එම ආයතන තමන්ට ලැඛෙන ආදායමෙන් සියයට 44 ක් බදු ලෙස රජයට ගෙවිය යුතු වේ.

යාපනයේ මේ වනවිට නීතිවිරෝධී ලේස කේබල් හරහා රූපවාහිනි නාලිකා විකාශනය කරන ව්‍යාජ MCR හෙවත් ප්‍රධාන පාලක මැදිරි 18ක් පිහිටුවා ඇති බවට අප විසින් අනාවරණය කරගෙන තිබේන අතර ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ 4ක් සහ ත්‍රිකුණාමලයේ 2ක් පමණ තිබේන බවට තොරතුරු මේ වනවිට අප සතුවේ.එම තොරතුරු අප විසින් රටේ වගකිවයුත්තන්ගේ අවධානයට යොමුකර,ජන මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධ කර තිබේ.

නීතිවිරෝධී කේබල්කරුවන්ගේ තවත් ජාවාරමක්

අප යාපනයේ සංචාරය කරන අතරතුර පේදුරු තුඩුව දක්වා ඇති නීතිවිරෝධී නාලිකා විකාශකයන්ට අයත් කේබල්, ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි කණුවල ඇද ඇති අයුරු නිරික්ෂණය කල අතර, විකාශයට භාවිතා කරන ඇම්පිලිෆයර් සදහා නීතිවිරෝධී ලෙස එම කණුවෙන්ම විදුලිය ලබාගෙන ඇති බව හොදින්ම නිරීක්ෂණය කිරිමට අපට හැකි විය. එම මාර්ගය ඔස්සේ කිලෝමීටර කිහිපයක් ගමන් කිරිමේදි ඒ ආකාරයේ ඇම්පිලිෆයර් කිහිපයක්ම දකින්නට හැකි වු අතර සමාන්‍යයෙන් මිටර් 250කට වරක් එක් ඇම්පිලිෆයර් එකක් බැගින් සවිකිරිම අනිවාර්‍ය වේ.

ඒ අනුව කිලෝමීටර් 5ක පමණ වපසරියක කේබල් ටිවි හරහා නාලිකා බෙදාහැරීම සදහා අවම වශයෙන් ඇම්පිලිෆයර් 20ක් වත් සවි කලයුතු අතර සමාන්යියෙන් එක් ඇම්පිලිෆයර් එකක් සදහා මාසික විදුලි වියදම රුපියල් 1400-1500ක් අතර වන බව ඒ අනුව ගත් කල විදුලි බල මණ්ඩලයට මාසිකව අහිමිවන මුදල ඉත විශල බව සිතා ගැනිමට අපහසු නැත.

මෙය බරපතල තත්වයකි.මන්ද එක අතකින් යාපනයේ එක් ආයතනයක් හැර අනෙකුත් සියලුම ආයතන නීතිවිරෝධී ආයතන විමයි.ඔහුන් විසින් තමන්ගේ කේබල් විදුලි කණුවේ ඇදිමට අමතරව ඒ සදහා රජයට පාඩු කරමින් හොර රහසේම විදුලිය ලබා ගැනිම ඊටත් වඩා භයානකය. අවස්ථා ගණනාවකදිම එම ව්‍යාජ කේබල් සමාගම් වල කේබල් ඇදිමට ගිය කිහිප දෙනෙකුම අනතුරු වලට ලක්වු අතර එයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට නිල වශයෙන් වාර්තා වි තිබේ.

උතුරේ කේබල් ටිවි විකාශය කිරිමට විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ නිළ අවසරය ඇත්තේ එක් ආයතනයකට පමණය. නමුත් අප ගේ සංචාරයේ දී අපට දැකගන්නට හැකි වූයේ, හොර රහසේ කේබල් ටිවි ලබාදෙන කණ්ඩායම් අප පේදුරු තුඩුවේ ගමන් කරන විටත් ත්‍රී රෝද රථයකින් පැමිණ නීතිවිරෝධී ලෙස විදුලි කණු වල කේබල් සවිකරමින් සිටින අයුරුය. ඒ පිළිබඳව අප ඔහුන්ගෙන් කල විමසිමකදි, එම කේබල් වල අයිතිය ඇත්තේ කාට ද යන්න පැවැසිමටවත් ඔහුන් නොදැන සිටියහ.

අප උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා හමුවු අවස්ථාවේ මෙම නීතිවිරෝධී කේබල් නාලිකා සම්බන්ධයෙන් කල විමසිමකදි ඔහු අවධාරණය කරමින් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හෙවත් TRCය මේම නීතිවිරෝධී නාලිකා නතර කිරිමට ක්‍රියාමාර්ග ගන්නේ නම්, පොලිසිය ඒ සදහා සහය දිමට සුදානම් බවය. නමුත් TRCය ඒ සම්බන්ධයෙන් අලස ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔහුගේ අදහස විය.

කෙසේවෙතත් පොලිසියේ නීතිය ක්‍රියාත්මක විමේ යාන්ත්‍රනයද සාර්ථක එකක් නොවන බව හා පොලිසිය කප්පම් ලබා ගන්නා බවත්, උතුරු පළාත් අමාත්‍යවරියක වන ආනන්දී සශීදරන් සමග අප කළ සාකච්ඡාවේදි ඇය අනාවරණය කර සිටියාය. අතර එය තවත් තහවුරු වන සිද්ධියක් අපට අච්චුවේලි පොලිසියට ගිය අවස්ථාවේ අත් දකින්නට ලැබුනි.

එනම් පසුගිය 6 වැනිදා එම ප්‍රදේශයේ නීතිවිරෝධී කේබල් නාලිකා පවත්වාගෙන යන කණ්ඩායම් දෙකක් අතර කේබල් කැපිම සම්බන්ධයෙන්
ඇතිවු ආරවුල පිළිබඳව දැමු පැමිණිල්ල පසුගිය 13 වැනිදා ආපසු ඉවත් කරගෙන ඇති බවට වූ වාර්තාවයි. පැමිනිල්ල පිළිබඳ ව කිසිදු පරික්ෂණයක් කර නොතිබු අතර අදාළ පැමිණිල්ලේ චූදිත පාර්ශ්වයන් විසින් පවත්වාගෙන යන කේබල් නාලිකා ලියාපදිංචි කර නොමැති බව අප පොලිසියට පෙන්වා දුන් විට ඔහුන් සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවද සදහන් කර සිටියේය.

පේදුරු තුඩුවට යන අතරමගදි අප කේබල් ටිවි හරහා නිවසේ රූපවාහිනි නරඹන අයෙකු සමග සාකච්ඡා කල අතර එහිදි තමන් ගෙදර නරඹන කේබල් නාලිකාව කාට අයිතිද යන්න ඔහු නොදැන සිටි අතර මාසිකව ඒ සඳහා ඔහු විසින් රුපියල් 400ක මුදලක් ගෙවන බවත්, ඊට අදාළව මාසිකව සටහන් කල හැකි කාඩ් පතක් පමණක් ලබාදි තිබෙන බව පැවසීය.

කුඩා කණ්ඩායම් වශයෙන් නීතිවිරෝධී කේබල් නාලිකා බෙදාහැරීමට මෙන්ම මුදල් එකතු කිරිමට ද කණ්ඩායම් යොදවා ඇති වා ඇති අතර ඔහුන්ට ඒ වෙනුවෙන් එක් ග්‍රාහකයෙකු විසින් ගෙවන මුදලින් සියයට 40ක පමණ මුදලක් ලබා දිමට කටයුතු කරන බවද මේ වනවිට අනාවරණය වි තිබේ. ඒ අනුව වාර්ෂිකව රටට අහිමිවන බදු මුදල් ප්‍රමාණය අවම වශයෙන් රුපියල් මිලියන 2000ද ඉක්මවන බව තහවුරු වි තිබේ.

ජාතික ආරක්ෂාව අනතුරේ..

මේ අතර පසුගිය කාලය පුරාම උතුරු නැගෙනහිර ඇතුලූ රට පුරා ඉතා සංවිධානාත්මකව ක‍්‍රියාත්මක වන ලියාපදිංච් නොකල නීතිවිරෝධී කේබල් රූපවාහිනී සේවාවන් පසුපස ව්‍යාපාරිකයන්, දේශපාලඥයින් ඇතුලූ කිහිපදෙනෙක් සිටින බවට මේ වනවිට අනාවරණය වේ. එම නාලිකා හරහා පෙන්වන ලබන වැඩසටහන් නියාමනය කිරිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හෙවත් TRCයට හැකියාවක් නොලැබිම නිසා ජාතික ආරක්ෂාවටත් ජාතීන් අතර සහජීවනයට හා ආගමික සංහිදියාවට මෙම නීති විරෝධි කේබල් සේවාවන් හරහා දැඩි බලපෑම් ඇතිවන බව පැවසිය හැක.

මෙවැනි බලපෑම් ඇති වීමට ප‍්‍රධාන හේතුව වන්නේ මෙවැනි නීති විරෝධී නාලිකා විසින් විකාශනය කරන ලබන වැඩසටහන්වල අන්තර්ගතය නියාමනය කිරීමට මාර්ගයක් ඔබගේ කොමිෂන් සභාවට නොහැකි වීම නිසා එම රූපවාහිනී නාලිකා ඔවුනට අවශ්‍ය වැඩසටහන් රිසි සේ විකාශය කිරීමයි.

ඒ අනුව වහාම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හෙවත් TRCය අදාළ අනවසර නාලිකා පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතුව ඇත. ඊට සමගාමීව විදුලිබල මණ්ඩලය විසින් නීතිවිරෝධී කේබල් නාලිකා හිමියන්ට අයත් කේබල් ඇදිමට තම ආයතනය අයත් විදුලි කණු යෝදා ගැනිමට ඉඩ ලබ නොදිය යුතු බවද අප තරයේ අවධාරණය කර සිටිමු.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍ර ලාභින්ට විදුලි හෝ දුරකතන කණු භාවිතයට අවසර ලැබි තිබුනද ඒ සදහා විධිමත් වැඩ පිළිවෙලක් මේ දක්වා සකස් වි නැත.විධිමත් ක්‍රමවේදයක් සකස් කිරිම හරහා මාසිකව විදුලි බල මණ්ඩලයටද ආදායමක් ලබා ගැනිමට හැකි වනු ඇතැයි ද විද්වත්හූ පෙන්වා දෙති.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,විදුලි බල මණ්ඩලය මෙන්ම පොලිසිය ද නීතිය ක්‍රියාත්මක කිරී මේදී වන කල්මැරිම පසුපස තමන්ට ලැබෙන සන්තෝෂම් තිබේන බවට ද ජනතාවගෙන් එල්ල වන චොදන තවදුරටත් ව්‍යප්තවීමට ඉඩ දෙනවාද? නැද්ද? යන්න බලධාරීන් දැන්වත් තින්දු කලයුතුය.

මීට අමතරව චන්ද්‍රිකා මාර්ගයෙන් රූපවාහිනී නාලිකා ප්‍රදර්ශනය කිරිම ඩී ටී එච් (DTH) යනුවෙන් හදුන්වනු ලබන අතර ලංකාවේ මේ වනවිට එම ක්‍රමයට අනුමැතිය ලබාගෙන ඇත්තේ ඩයලොග් ටීවී සහ ඩිෂ් ටීවී ලංකා කියන ආයතන දෙක පමණි. නමුදු ඉන්දියාවේ ඇති ඩී ටී එච් සේවාවන් නීතිවිරෝධී විධියට අද වනවිට ලබාදෙන ආයතනද ඇත.

ඉන්දියාවේ ක්‍රියාත්මක සන් ඩිරෙක්ට් / එයාර්ටෙල් / වීඩියෝකොන් / බිග් ටීවි යන ආයතනවල සේවාවන් අලෙවි කරන්නේ නීති විරෝධීවයි. මේවාට වෙළද දැන්වීම් පවා අපේ රටේ මාධ්‍යවල ප්‍රචාරය කරයි. මේ දක්වා ලද තොරතුරු අනුව ලක්ෂ 5 කට අධික පිරිසක් මේ නීතිවිරෝධී සේවාව ලබාගෙන ඇත.

මේ සේවාව ලබාගන්න නිවසේ ඉහළට ඩිෂ් ඇන්ටෙනාවක් සහ රිසීවරයක් (ග්‍රාහකයක්) අවශ්‍යවේ. ඉන්දීය ආයතන අතර ඇති තරගකාරීත්වය සදහා ඉතා අඩුමිළට නීති විරෝධී ලෙසට අපේ රටේ ජනතාවට ලබාදෙන ආකරයක් දක්නට ඇත. මේ විධිහට සේවා ලබාදෙන අය අපේ රටේ සෑම ප්‍රදේශයකම සිටිති. මෙම සේවා ලබාගන්න ලක්ෂ 5 කට අධික පිරිසක් නීති විරෝධී ලෙස මාසිකව යම් මුදල් ප්‍රමානයක් ඉන්දියාවට ලබා දේ. කෝටි ගණනක් වන අපේ රටේ සල්ලි නීති විරෝධි ලෙස ඉන්දියාවට යන එක ගැන කිසිදු මාධ්‍යයක් වචනයක් කතා නොකිරීම අරුමයකි.

DTH ජාවාරම ගැන අනාවරණය බලාපොරොත්තු වන්න..

-වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය-

RSL

Related Posts