නළ දරු උපත් රජයේ රෝහල්වලිනුත්

Spread the love

මිල අධික ප්‍රතිකාර ක්‍රමයක් වන නළ දරු උපත් ක්‍රමය රජයේ රෝහල්වල ආරම්භ කිරීමේ නව වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉතා මිල අධික ප්‍රතිකාර ක්‍රමයක් වන මේ ක්‍රමය දැනට පවතිනුයේ පෞද්ගලික රෝහල්වල පමණක් බවත් මුදල් වැඩිපුර නොමැති අහිංසක යුවළයන්ට රජයෙන් ආරම්භ කරන මේ වැඩපිළිවෙළ මඟින් සාධාරණයක් ඉටු කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

පවුල් සැලසුම් දින ජාතික උත්සවය අමතමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඇමැතිවරයා මේ බව පෙරේදා (25) ප්‍රකාශ කළේය.

රටේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන් රටට සම්පතක් බවත් දරුවන්ට නිසි රැකවරණය, පෝෂණය, ආරක්ෂාව වගේම ආදරය ලබාදිය යුතු බවත් ඇමැතිවරයා පැවැසුවේය.

පවුලට අවශ්‍ය දරුවන් සංඛ්‍යාවක් නිසි පරතරයකින් යුතුව ලබා ගැනීම පවුල් සැලසුම මඟින් අපේක්ෂා කරන්නේ යැයි ද අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා සුදුසු වයසේ දී සුදුසු පරතරයකින් දරුවන් ලබා ගැනීම සහ මදසරුභාවයෙන් පීඩා විඳින විවාහපත් යුවල් සඳහා දරු සම්පත ළඟා කර ගැනීම පවුල් සැලසුම මඟින් සිදු කරන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසීය.

පවුල් සැලසුම වැනි රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය අංශයක් සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවලදී කිසිදු වග විභාගයකින් තොරව ජාතිවාදය අවුස්සමින් සිදු කරන වාර්තාවන් දක්නට ලැබීම කනගාටුවට කරුණක් යැයිද අවශ්‍ය වනුයේ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා මවුවරුන් සාපරාධී ගබ්සා සිදු කර ගැනීමට යොමු වීම වැළැක්වීම යැයි ද ඇමැතිවරයා කීය.

මඳසරු යුවල් හඳුනා ගැනීම, ඔවුන් නිසි පරිදි අවශ්‍ය ස්ථාන කරා යොමු කිරීම, මඳසරුභාවයට හේතුකාරක වන අධික තරබාරු බව, අනවශ්‍ය ලෙස ගැබ් ගැනීම ප්‍රමාද කිරීම වැනි වැළැක්විය හැකි හේතු හඳුනාගෙන ඒ සඳහා උපදෙස් දීම ක්ෂේත්‍ර මට්ටමින් සිදු කළ හැකි යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ළමා හා සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියානි සේනාධීර මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.