කෝටි දෙකේ අල්ලසේ සැකකරුවන්ගේ වෛද්‍ය වාර්තා දකින විට උසාවියටත් හාට්‌ ඇටෑක්‌ හැදෙනවා- මහේස්ත්‍රාත්

Spread the love

සැකකරුවන් ඇප ඉල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ඔවුන්ගේ රෝග තත්ත්ව පිළිබඳ වෛද්‍ය වාර්තා දකින විට අධිකරණයට ද ‘හාට්‌ ඇටෑක්‌’ හැදෙන බව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (05) විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඉන්දියානු ජාතිකයකුගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක්‌ ලබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්‌ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්‌ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනාගේ රෝග තත්ත්වයන් සලකා ඔවුනට ඇප ලබාදෙන ලෙසට විත්තියේ නීතිඥවරුන් ඉල්ලා සිටි අවස්‌ථාවේදී ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එලෙස කීය.

යම්කිසි චෝදනාවක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විට හෝ රක්‍ෂිත බන්ධනාගාරගත කළ විට සමාජයේ උසස්‌ යෑයි සම්මත රජයේ උසස්‌ නිලධාරීන් ඇතුළු ප්‍රභූ සැකකරුවන් රෝගීන් බවට පත්වී රෝහල්ගත වීමේ ප්‍රවණතාවක්‌ ඇතැයි අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා පැවසීය.

එම සැකකරුවන් දෙදෙනා ලබන 19 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා ඔවුන්ට ඇප ලබාදෙන ලෙසට කළ ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය එදින නිකුත් කරන බවද කීය.

එම සැකකරුවන් දෙදෙනා රජයේ උසස්‌ නිලතල දැරූ අය බැවින් විමර්ශන අවසන් වීමට පෙර ඇප ලබාදුනහොත් ඉදිරි විමර්ශන කටයුතුවලට බාධාවක්‌ හා බලපෑම් විය හැකි බැවින් නඩු විභාගය අවසන් වනතුරු සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත් කරන ලෙස ද අල්ලස්‌ කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

-දිවයින-