බැඳුම්කරේ ඉතුරු පිටු 360න් ඇවිත් ඇත්තේ 11 යි

Spread the love

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ හෙළිදරව් නොකළ පිටු 360 න් ජනාධිපති ලේකම්වරයා තමා වෙත එවා තිබෙන්නේ පිටු එකොළහක්‌ පමණක්‌ නිසා ඉතිරි පිටු තුන්සිය හතළිස්‌ නවය ද ලද පසු සියල්ල සභාවට ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කථානායකවරයා මේ බව ප්‍රකාශ කිරීමත් සමග සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇතිවූ අතර පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු එකිනෙකාට ඇඟිල්ල දිගුකරමින් ඝෝෂා කරමින් අදහස්‌ ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

කථානායකවරයා – බැඳුම්කර වාර්තාව එළිදක්‌වා නැති නිසා සමාජය තුළ විවිධ මාධ්‍ය වාර්තා නිකුත් වෙනවා. සමහර අසත්‍ය ප්‍රකාශ නිසා මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තුවට සහ රටට අපකීර්තියක්‌ සිදුව තිබෙනවා. එය කනගාටුවට කරුණක්‌. ජනාධිපති ලේකම්වරයා මා වෙත සී 350 සිට සී 360 දක්‌වා ලේඛන එවා තිබෙනවා. මේ සමස්‌ත ලේඛනවලින් කොටසක්‌ පමණයි. ඒ නිසා පක්‍ෂ නායක රැස්‌වීමේදී එකඟ වුණා සම්පූර්ණ ලේඛන ලැබුණු පසු සභාවට ඉදිරිපත් කරන්න.

විමල් වීරවංශ මහතා – මන්ත්‍රීවරුන් 118 ක්‌ ගැන කියෑවෙනවා. මේ නම් හෙළි නොකිරීම නිසා මන්ත්‍රීවරුන් 225 ම සැකයට භාජනය වී තිබෙනවා. ඔය ආපු වාර්තාවේ වත් ඔය 118 දෙනාගේ නාමලේඛනය තියෙනවාද?

කථානායක – අප දැනුවත්ව එහෙම දෙයක්‌ නෑ.

සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා – සියලු දෙනාටම ඕනෑ වී තිබෙන්නේ ඇත්ත දැනගන්න. සී 1 සිට සී 349 දක්‌වා ලේඛන එවා නෑ. ඔක්‌කොම එවන්න කියලා අපි කියනවා.

අනුර කුමාර දිසානායක මහතා- දැන් එවා තිබෙන්නේ ලේඛන 11 යි. තවත් 349 ක්‌ එවිය යුතුයි. කථානායකතුමා සහතිකයක්‌ දෙනවද ඉතිරි ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. නැතිනම් මේ ලේඛන 11 ත් අපට දැනගන්න නැතිවෙයි.

කථානායක – ජනාධිපති ලේකම්තුමා එව්වොත් දිය හැකියි.

අනුර දිසානායක මහතා – ජනාධිපති ලේකම්තුමාට ඔබතුමා කිව්වද ඒවාත් එවන්න කියලා.

කථානායක – තවම නෑ. එතුමා විදේශගත වෙලා.

රංජිත් සොයිසා මහතා – බැඳුම්කර කොමිසමේ සිංහල පිටපත තවම ලබාදී නෑ. ඔබතුමා රාජ්‍ය භාෂා කොමිසමට පරිවර්තනය සඳහා දුන් බව කීවා.

කථානායක – මම නොවේ ජනාධිපති ලේකම්.

විමල් වීරවංශ මහතා – වාර්තාව කෑලි කෑලි දෙන්නේ ඇයි? අනාගතයේ ලැබෙන්න තියෙන දෙයක්‌ දිහා බලලා ලැබුණු දේ හංගන්න එපා.

චන්දිම වීරක්‌කොඩි මහතා – මේ බැඳුම්කර සිද්ධියට කිසිම සම්බන්ධයක්‌ නැති පාර්ශවයක්‌ ගැන සමාජශාලාවල යනවා. (සභාවේ මන්ත්‍රීවරු සිනාසේ) සමාජ වෙබ් අඩවිවල යනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා – කෝප් කමිටුවේ සාමාජිකයන් ඇලෝසියස්‌ට දුරකථන ඇමතුම් දී ඇත්නම් ඒ අය යළි කෝප් කමිටුවට පත් කරන්න එපා. අද වන විට රහස්‌ පොලිසිය මැති ඇමැතිවරුන් 24 කගේ ආරක්‍ෂාවට ඉන්නා පොලිස්‌ නිලධාරීන්ගෙන් කටඋත්තර අරගෙන. ඒ අය චෙක්‌පත් මාරු කරලා. කෝප් එකේ ඉන්න අයගේ රාලහාමිලා ගෙනුත් කටඋත්තර අරගෙන. මමත් ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාත් දිව්රුම් ප්‍රකාශ දෙනවා. අපි මේ ඇලෝසියස්‌ සමඟ කතා කරලත් නෑ, අනෙක්‌ අයටත් දිවුරුම් ප්‍රකාශ දෙන්න කියන්න.

එස්‌. එම්. මරික්‌කාර් මහතා – මේ නම් ටික එළියට එන්නේ නැත්නම් වාර්තා එවලා වැඩක්‌ නෑ.

ඇමැති අජිත් පී. පෙරේරා මහතා – අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඇත්තටම හොඳ දෙයක්‌ කිව්වේ. ඔබතුමාත්, ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාත් වංචාවට හා සාවද්‍ය පරිහරණ චෝදනාවට අධි චෝදනා ලද දෙදෙනෙක්‌. මේ කමිටුවලින් විභාග කරන්නේ ඇලෝසියස්‌ගෙ ප්‍රශ්නය විතරක්‌ නොවේ. අධිචෝදනා ලද කිසිම කෙනෙක්‌ කිසිම කමිටුවකට පත් කරන්න එපා.

සුසන්ත පුංචි නිලමේ මහතා – අද අපිට ගමට යන්න බෑ. ඔබතුමාත් මුදල් ගත්තද කියා අහනවා. අපිව නෝන්ඩි කරනවා. දැන් මමත් දිවුරුම් ප්‍රකාශයක්‌ දෙනවා.

ගාමිණී ලොකුගේ මහතා – අපට ඕනෑ කෝප් කමිටුව පිරිසිදු කරන්න. එනිසා තමයි කෝප් කමිටු සාමාජිකයන්ට කියන්නේ දිවුරුම් ප්‍රකාශ දෙන්න කියලා.

RSL

Related Posts