මහනුවරට ගුවන් තොටුපොළක් – ජනපති මහින්ද රාජපක්ෂ

Spread the love

අංග සම්පූර්ණ ගුවන් තොටුපොළක් මහනුවර ඉදිකරන බවත් ඒ සඳහා අවශ්‍ය අක්කර 100ක භූමි ප්‍රමාණයක් මේ වනවිට වෙන්කර ඇති බවත මහනුවර ජනපති මන්දිරයේදී ඊයේ (03 ඔක්.) පැවැති ජන හමුවකදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
වරාය ගුවන් තොටුපොළ හැමදේම හම්බන්තොටට යැයි ඇතමුන් පදනම් විරහිත චෝදනා කරන බවත් ඒ ඒ පළාත්වලට ගැළපෙන සංවර්ධනය හඳුනා ගෙන එය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ බවත් මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් පැවසූවේය.
වසර 58 ක් මහනුවර නගරය පාලනය කළ එ. ජා. ප. නගර සභාවට නගරයේ කුණු ටික ඉවත් කර ගැනීමටවත් නොහැකි වූ බව ද නගරය දුඟද හමන මැස්සන් පිරුණ නගරයක් බවට පත් කිරීමට එම පාලනය වගකිව යුතු බවද කීවේය. නගරයේ වාහන තදබදය අදටත් එසේම පවතින බව පැවසූ ජනාධිපතිතුමන් මෙහි වෙනසක් විය යුතු බව අවධාරණය කළේ ය.
මහනුවර නගරය කොළඹට නොදෙවෙනි ලෙස සංවර්ධනය කරන බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නුවර වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම මහනුවරක් කිරීමට සියලු කටයුතු සැලසුම් සකස් කර ඇතැයි ද කීවේය.
අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අළුත්ගමගේ, නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර, මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම මහත්වරු ඇතුළු මධ්‍යම පළාතේ දේශපාලඥයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

RSL

Related Posts