ෆොන්සේකා ගැන කතා කරන්න ගිය රනිල්ට වාරණයක්

Spread the love

සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් කඩවීම් පිළිබදව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අද (29) උත්සාහ කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය ඊට දැඩි ලෙස විරෝධය දැක්වීය.

එම ප‍්‍රශ්නය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් දැක්වූ විරෝධතා හමුවේ සභාව තුළ උණුසුම්කාරී තත්වයක් මතුවිය. එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා යන ඇමැතිවරු විරෝධය පෑහ.

හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ නම සඳහන් නොකර එම ප්‍රකාශය කිරීමට ඉඩ දෙන්නැයි වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි විට කතානායක චමල් රාජපක්ෂ මහතා පැවැසුයේ මේ ගැන බදාදා තීන්දුවක් දෙන බවයි.

පසුව පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යයට අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේ පැවසීය.

“ මම මේ ප්‍රශ්නයෙන් මතු කලේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥාප්තියටද, ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියටද අත්සන් තබා ඇති නිසා ජනාධිපති අපේක්ෂකයන්ට හා පාර්ලිමේන්තු අපේක්ෂකයන්ට හදිසි නීතිය යටතේ නඩු පැවරිය නොහැකි බවයි. නමුත් මට ප්‍රශ්නය අහන්න ඉඩ දුන්නේ නෑ.“

“ සරත් ෆොන්සේකාට එරෙහිව නඩු පැවරීමෙන් ආණ්ඩුව මේ අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව පෙන්වා දුන් මම එම ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන්නැයි ඉල්ලා සිටියා. ආණ්ඩුව මේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේදි කිරීමට ඉඩ නොදී ප්‍රථම වතාවට රටට, ජනතාවට බලපාන පොදු ප්‍රශ්නයක් ගැන රටේ විපක්ෂ නායකවරයා කතා කිරීම වැළැක්වූවා.“

“අපේ ස්ථාවර නියෝග යටතේ මට මේ ප්‍රශ්නය ඇසීමට අයිතියක් තිබෙන බව මා කතානායකවරයාට පෙන්වා දුන්නා. පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සභාපති වන්නේද අපේ කතානායකවරයායි. පොදු රාජ්‍ය මණ්ඩලීය 2012 මහ සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙන්නේද ශ්‍රී ලංකාවේයි. එනිසා මම අද(29) පැළඳ සිටියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ටයි පටියයි. මේ තත්වය යටතේද මේ ප්‍රශ්නය ඇසීමට මට අයිතියක් තිබෙන බව මා පාර්ලිමේන්තුවේදී මා පැළඳ සිටිය පොදු රාජ්‍ය මණ්ඩලීය ටයි පටිය පෙන්වා කියා සිටියා.“

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ අයිතිය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය ඇප කැපවී සිටිනවා. එහි මූලික අරමුණ වන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීමයි. එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය අබුජා රාජ්‍ය නායකයින්ගේ සම්මේලනයේදී පිළිගත් පොදු රාජ්‍ය මණ්ඩලීය ලැටිමර් මන්දිර ප්‍රතිපත්තිවල අධිකරණය, විධායකය සහ පාර්ලිමේන්තුව පිළිබඳව පැහැදිලිව සඳහන් වෙනවා.“

“ඒ ප්‍රතිපත්තීන්ට අනුව නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම හා මානව හිමිකම් ආරක්ෂා කිරීම පාර්ලිමේන්තුවේ මූලික යුතුකම වනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු ප්‍රජාතන්තුවාදයේ යුතුකම සහ වගකීම වන බවද කිව යුතුයි. ඒ අනුව පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් කතා කරමින් මා මතු කලේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්නයයි. පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්තීන්ට අනුව මෙබඳු ප්‍රශ්න සඳහා විධායකය පිළිතුරු දිය යුතු අතර ආණ්ඩුවේ වැඩ කටයුතු පරීක්ෂා කිරමට විපක්ෂයට අයිතියක් තිබෙනවා.“

“එමෙන්ම විධායකය ගැන පරික්ෂා කර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව සහ අයිතිය තිබිය යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ඒ ප්‍රතිපත්ති රාමුවේ සඳහන් වනවා. ශ්‍රී ලංකාව අයිති දකුණු ආසියානු පොදු රාජ්‍ය මණ්ඩලීය කලාපීය සංගමයට බවද පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට අදාල ගිවිසුම සහ ප්‍රතිපත්ති වල ඇතුලත් වනවා.“

“කෙසේ නමුත් අප එකතුවී සිටින පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සියලු ප්‍රතිපත්ති සහ අයිතීන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව උල්ලංඝනය කල නිසා තවදුරටත් එම සංගමයේ ටයි පටිය පැළඳ පාර්ලිමේන්තුවේ සිටින්නේ කෙසේදැයි මා කල්පනා කලා. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ඒ ප්‍රතිපත්ති කොන්දේසි සහ එකඟතා උල්ලංඝනය කිරීමට එරෙහිවත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට මට තිබෙන අයිතිය ලබා නොදීමට එරෙහිවත් මම එම ටයිපටිය ගලවා දමා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිට වුණා.“

 

RSL

Related Posts