සොයිබ් අක්තාර්ගේ ස්වයං චරිතාපදානය එළිදකී.

Spread the love

පාකිස්තානයේ හිටපු අති උද්වේගකාරී වේගපන්දු යවන ක්‍රීඩක සොයිබ් අක්තාර්ගේ නවතම ස්වයං චරිතාපදානය පසුගියදා එළිදැක්වුනු අතර එය ඉන්දියාව උණුසුම් කිරීමටද සමත් වී ඇත.
වතාවකදී ලොව වේගවත්ම පන්දු යවන්නා වූ අක්තාර් සිය ග්‍රන්ථයෙහි ඉන්දියාවේ ක්‍රිකට් වීරයන් වන සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ඩ්‍රාවිඩ් පිළිබඳවත්, පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ මුඛයට ඇද දැමූ පුද්ගලයන් පිළිබඳවත් විග්‍රහ කර තිබේ. අක්තාර්ට අනුව තෙන්ඩුල්කාර් සහ ඩ්‍රාවිඩ් සිය පෞද්ගලික වාර්තා සඳහා ක්‍රීඩා කළා මිස කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය සැපැයූ අවස්ථා ඉතා විරලය.
1997 සහ 2011 අතර කාලයේ ටෙස්ට් තරග 46 කටත්, එක්දින තරග 163 කටත් ක්‍රීඩා කර ඇති 36 හැවිරිදි අක්තාර්, 2006 වසරේ ඉන්දීය පිලේ පාකිස්තානු සංචාරයේදී තෙන්ඩුල්කාර්ට තම පන්දුවලට මුහුණ දීමට අපහසු වූ ආකාරය පිළිබඳවද සිය ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. ‘මානසිකව ඔහු පරාජය කිරීමට අපිට හැකිවුණා” ඔහු එසේ සඳහන් කර තිබේ.
පසුගිය සතියේ නවදිල්ලි නුවරදී එළිදැක්වු මේ ග්‍රන්ථය තෙන්ඩුල්කාර්ගේ උපන් බිම වන මුම්බායි හී එළිදැක්වීමට තිබුණේ පසුගිය ඉරිදා ය. නමුත් අවසන් මොහොතේ සංවිධායකයන් එම උත්සවය හේතු නොදක්වාම අවලංගු කර දැමූහ.
වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින්නේ පිතිකරුවන්ට පමණක් වාසිදායක වූ නීතිරීති බව අක්තාර්ගේ අදහසය. “ක්‍රීඩාව වෙනස්වෙලා දැන් වාසිය ඇත්තේ පිතිකරුවන්ට පමණයි.
එමෙන්ම පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පිළිබඳව ඔහු ප්‍රසාදයෙන් යුතුව සඳහන් කර ඇත්තේ ඔහුගේ නායකත්වය යටතේ තමාට ක්‍රීඩා කිරීමට නොලැබීම අවාසනාවක් බවය. “ඉම්රාන් තමයි පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව උනන්දු වූ අවසන් මිනිසා “ අක්තාර් මෙලෙසින් තම කෘතියෙහි සඳහන් කර ඇත.

RSL

Related Posts