සෙවනගල පවරා ගැනීමට එරෙහිව සෙවනගලින් පෙත්සමක්

Spread the love

නීතිමය ක්‍රියාදාමයකින් තොරව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පවරා ගැනීම වළක්වාලමින් ඇමති මණ්ඩලයට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අද අභියාචනාධිකරණයට සීමාසහිත සෙවනගල සීනි සමාගම විසින් පෙත්සමක් ගොනු කෙරිණි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. පෙත්සමේ සඳහන් වන්නේ සෙවනගල කර්මාන්ත ශාලාව අවුරුදු 50 කට රජයෙන් බදුගෙන ඇති බවත්, ඊට අයත් හෙක්ටෙයාර් 450 ක් පමණ ඉඩම්වල උක් වගා කරමින් සීනි නිපදවීමේ කටයුතු සිදුකරන බවය. වසර 2004 සිට අඛණ්ඩව ලාභ ලබන බව පවසන සමාගම මේ වසරේදී ලබා ඇති ලාභය රුපියල් මිලියන 227 කට අධික බව ද පෙත්සමේ දක්වා තිබේ.

මෙම කර්මාන්තය සදහා සමාගම රුපියල් බිලියනයක් වැය කර තිබෙන බව ද උක් වගාවෙන් ගොවීන් වසරෙන් වසර ලබන ආදායම වැඩි වී තිබෙන බවත් පෙත්සමේ දැක්වේ. මීට අමතරව පෙත්සම විභාගය අවසන්වන තෙක් සෙවනගල සීනි සමාගමට අයත් කොටස් හෝ වෙනත් කිසිඳු දේපලක් පවරා ගැනීම තහනම් කෙරෙන අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ සමාගම සදහා නිසි බලධාරියෙකු හෝ වෙනත් නිලධාරියෙකු පත් නොකිරීමට නියෝග කරන ලෙසය.

RSL

Related Posts