ස්වාධීන පොලිස් ‌කොමිසම ‌දේශපාලන පළිගැනීම් වල ‌කොටස්කරුවෙකු වීම පුදුමයි..! ශානි වහාම යලි ධූරයේ පිහිටුවන්න..! -ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Spread the love

මාධ්‍යවේදීන්ට සිදුකරන ලද අපරාධ පිලිබඳ පරීක්ෂණ ‌මෙහෙයවමින් සිටි අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ‌ජ්‍යෙ.‌පො.අධිකාරී ශානි අබේසේකර මහතා මාරු කිරීම ‌දේශපාලන පළිගැනීමක් බවත් ඒ සඳහා ‌පොලිස් ‌කොමිසම ද ‌කොටස් කරුවෙකු වීම විමතියට කරුණක් බවත් කියමින් ශානි අබේසේකර මහතා ධූරයේ යළි පිහිටුවන ‌ලෙස ඉල්ලා දිවයිනේ තවත් ප්‍රධාන මාධ්‍ය සංවිධානයක් වන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ‌පොලිස් ‌කොමිසම ‌වෙත ලිපියක් යවා තිබේ. ඒ ලිපිය සම්පූර්ණ පහත දැක්වේ.

23.11.2019
කේ.ඩබ්. ඊ. කරලියැද්ද මහතා
සභාපති
ජාතික පොලිස් කොමිසම
BMICH බ්ලොක් අංක 9
කොළඹ 7

ගරු සභාපතිතුමනි,

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ස්ථාන මාරුව සම්බන්ධවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ස්ථාන මාරු කිරීමට ඔබ කොමිෂන් සභාව අනුමැතිය දීම සම්බන්ධයෙන් අප බලවත් විමතියට පත්වීමු.

2019 නොවැම්බර් 16 දින පැවති ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවක් පත්වූ විගසම මෙම ස්ථානමාරු කිරීමේ අවශ්‍යතාවය පැනනැඟුනේ කෙසේදැයි යන්නෙහි ඇති ගැටළු සහගත බවත්, මෙය පැහැදිළිවම දේශපාලනික වශයෙන් ගත් තීන්දුවක් බවත් අපට පෙනී යයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දරමින් සිටි නිලධාරියෙක්ව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පෞද්ගලික සහකාරවරයෙකු ලෙස පත් කිරීමෙන්ම මෙය ස්ථාන මාරුවකට වඩා දේශපාලන පළි ගැනීමක් වෙනුවෙන් සිදුකළ ක්‍රියාවක් බව පැහැදිලිය. එම දේශපාලන වුවමනාව කාගේ වුවත්, පොලිස් කොමිෂම එම දේශපාලන වුවමනාවෙහි කොටස්කරුවෙකු වීම අපට ඇති ගැටළුවයි.

උදාහරණයක් සේ සැලකුවහොත්, මීට පෙර මෙවැනි දේශපාලන පසුබිමක් නොමැති අවස්ථාවකදී පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වාව මාරු කර යැවූ අවස්ථාවේදී පොලිස් කොමිෂම එයට අනුමැතිය ලබාදී තිබුණේ නැත.

ජ්‍යෙ.පො.අ. ශානි අබේසේකර මහතා පිළිබඳව අපගේ අවධානය යොමුවීමට විශේෂ හේතුවක් තිබේ. පසුගිය සමය තුළ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර්ව පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවීම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදී පැහැරගැනීමට උත්සාහ කිරීම ආදී සිදුවීම් සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. එම විමර්ශන අතරින් දෙකක් මේ වනවිට අවසන් කොට නීතිපතිවරයාට ඉදිරිපත් කොට ඇති අතර ඒවා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කිරීමද සිදුකර ඇත. එවැනි පොලිස් නිලධාරියෙක්ව මාරු කිරීමෙන් ඉදිරි පරීක්ෂණවලට සහ අධිකරණ කටයුතුවලට දැඩි බලපෑමක් සිදුවන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම මෙය මාධ්‍ය නිදහසට එල්ලවෙන බලපෑමක් ලෙසද අප විශ්වාස කරන අතර, එබැවින් ඔහුගේ මෙම ස්ථාන මාරුව අවලංගු කොට පෙර පරිදි රාජකාරියේ පිහිටවිය යුතු බවට යෝජනා කර සිටිමු.

මෙයට,

දුමින්ද සම්පත්
සභාපති

ෆ්‍රෑන්ක් ද සොයිසා
ලේකම්

-ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

පිටපත්: සී.ඩී.වික්‍රමරත්න මහතා, වැඩබලන පොලිස්පති
සියලු ජනමාධ්‍ය ආයතනවලට