සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් තවත් සමාජ සත්කාරක වැඩසටහනක්

Spread the love

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම මගින් අනුරාධපුර තලාව ශ්‍රි ඥානෝදය පිරිවෙනෙහි වැඩවාසය කරන්නා වූ ස්වාමීන් වහන්සේලා උදෙසා ඇදන්, කොට්ට, මෙට්ට හා ඇද ඇතිරිලි ඇතුළු උපකරණ කට්ටල පූජා කිරීමේ වැඩසටහනක් පසුගිය දින සිදුකරන ලදි.

සණස මහා සංගමයේ මූලිකත්වයෙන් 22 වන වරටත් සංවිධානය කරන ලද සණස නෙළුම් මල් පූජාවට සමගාමීව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සණස ව්‍යාපාරයේ නිර්මාතෲ විශ්ව ප්‍රසාදිණී ආචාර්‍ය පී.ඒ කිරිවන්දෙණිය මැතිතුමන්ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටී. කරුණාසේන , ප්‍රධාන විධායක නිළධාරී ඉන්දික කිරිවන්දෙණිය , අලෙවි කළමණාකාර මහේෂ් වික්‍රමතුංග ඇතුළු පිරිසක් ඊට සහභාගී විය.

කොත්මලේ වටද්දර ශ්‍රී ඥානෝදය පිරිවෙන යන නමින් වර්ෂ 1880 දී පමණ ආරම්භ කල මෙම විහාරය 1921 පෙබරවාරි මස 21 වන දින ලියාපදිංචි කරන ලදි. වර්ෂ 1980 දී කොත්මලේ ජලාශ යෝජනාව නිසා මෙම ශ්‍රී ඥානෝදය පිරිවෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදි. වර්තමානය වන විට මෙම පිරිවෙනෙහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හා ගිහි දරුවන් 110 ක් පමණත් දහම් පාසලේ දූ දරුවන් 600 ක් පමණත් අධ්‍යාපනය ලබති.

පිරිවෙණෙහි වැඩ වාසය කරන්නා වූ සාමනේර භික්ෂූන් වහන්සේලා උදෙසා මෙහිදී අංග සම්පූර්ණ කාමර 25 කින් සමන්විත භික්ෂු නේවාසිකාගාරයක් විවෘත කෙරුණු අතර එහි ඇදන්, මෙට්ට, කොට්ට, ඇද ඇතිරිලි, මේස පුටු ඇතුලු සියළු දෑ සණස ලයිෆ් ආයතනය විසින් පූජා කරන ලදි.

මෙහිදී අදහස් දක්වමින් සණස ව්යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙණිය මැතිතුමන්, ” දේශයක් විදිහට ඉදිරියට යන ගමනේ භික්ෂූන්ගේ කාර්යභාරය ඉතා විශාලයි. එය වෙන කවරදාටත් වඩා දැන් අපට වැදගත්. මේ සඳහා ජාතික මට්ටමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල යුතුයි. සණස ව්‍යාපාරය ආරම්භයේ සිටම අපි අපිට හැකි පමණින් ආගමික මෙහෙවර සිදුකලා, සෑම අවුරුද්දක්ම අපි ආරම්භ කලේ අනුරාධපුර අටමස්ථාන වන්දනාමාන කිරීමෙන් අනතුරුවයි. ඉදිරියටත් සණස ව්‍යාපාරය මෙවැනි ව්‍යාපෘති සංවිධානය කිරීම සහතිකයි” යනුවෙන් ප්‍රකාශ කරන ලදි.

Related Posts