ශ්‍රී ලංකා පිතිකරුවෝ යළි අසාර්ථක වේ

Spread the love

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දැඩි පසුබෑමකට ලක්වී සිටින ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් මානසික සංවර්ධනයකට යොමු කිරීම පිළිබඳව ඉදිරියේදී සළකා බැලීමට සිදු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ නායක තිලකරත්න දිල්ෂාන් ඊයේ (08 සැප්.) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක මනා සංයමයකින් යුතුව පන්දුවට පහරදීමේ ලීලාව ශ්‍රී ලංකාවට පෙන්නුම් කළ ඕස්ට්‍රේලියානු පිලේ පිතිකරුවන් ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ආරම්භ වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ආලෝකය මදවීමේ හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු කිසිවක් නොදැවී ලකුණු 60 ක් රැස් කිරීමට සමත් වුහ. ඒ ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලබා ගත් ලකුණු 174 ට පිළිතුරු වශයෙනි.

අපි කොතරම් සැළසුම් සහගතව පිටියට පැමිණියත් දැඩි කැපවීමෙන් යුතුව පුහුණුවීම්වල නිරත වුණත් තරඟයට අවතීර්ණ වීමේදී දැඩි මානසික පසුබෑමකට ලක් වෙනවා.

මේ පිළිබඳව අපි කිහිප වතාවකදීම සාකච්ඡා කළා. මේ තත්ත්වය දිගටම පැවතුණොත් ඉදිරියේදී ක්‍රීඩකයන් මානසික සංවර්ධනය කරා යොමු කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න සිදුවේවි. ඩිල්ශාන් වැඩිදුරටත් පැවැසීය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව (ප්‍රථම ඉනිම.) 174 සියල්ලන් දැවී (මැතිව්ස් 58, සංගක්කාර 48 සහ රයන් හැරිස් 38/3)

ඕස්ට්‍රේලියාව (ප්‍රථම ඉනිම.) 60/0 (වොට්සන් 36, පියුස් 23)

RSL

Related Posts